දේදුන්න

9ට තමයි පොළොන්නරුවට යන්න කොච්චිය තියෙන්නෙ. 9ට කිව්වට ඒක යන්නෙ 9.45ට. පන්ති 3.30ට ඇරුණත් මම 9 වෙනකල් කෝච්චියේ යන්න ඉන්න එක ගොඩ දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් වුණා. පහුවදා ආයෙත් වැඩට ඉන්නත් ඕනි.

පුරුදු විදිහට නාවල කැම්පස් එකෙ ඉදලා මම පයින් කොටුවට එන්න පටන්  ගත්තා. මේ වෙලාවට ඉතින් පයින් හරි පාරේ එන්න පුළුවන් එක ලොකු දෙයක්නෙ. උදේම ගියපු වැස්සට පාර පුරා වතුර වළවල්. කාර් වෑන් වලින් යන මිනිස්සු දන්නෙ නැහැනෙ පාරේ පයින් යන මිනිස්සුත් ඉන්නවා කියලා. පයින් යන්න පදික වේදිකාව හදලා තිබුණත් ඒක බල්ලන්ගෙයි, කොල්ලන්ගෙයි, හිඟන්නන්ගෙයි, වෙළෙන්දන්ගෙයි භාරයට අරගෙන තියෙන්නෙ. තියෙන අඩියෙ දෙකෙ හරි ඒකට හිමින් සැරේ යන්න ඕනි. වළවල් ගාවන්නං ටක් ගාලා එහා පැත්තට පනින්නෙ කාර් එකක් හරි ත්‍රීවීල් එකක් හරි ආවොත් මඩ නාගන්න වෙන හින්දා.

නාවල ඉදලා කොටුවට පයින් එනවා කියන එක ඉතින් ලේසී පහසු වැඩක් නෙමෙයි. කොහොම හරි මම තුනාමාරට විතර කැම්පස් එකෙන් එළියට ආවා. එතන ඉදලා අඩිය අඩිය තියාගෙන අහස දිහා පාර දිහා වටපිටාව බල බල මම කොටුවට එන්න පටන් ගත්තා.

ඒ මැද තමයි නාවල සුසාන භූමිය හම්බෙන්නෙ. නාවල සුසාන භූමිය කීවට මම හිතන්නෙ නාවල කවුරුත් එකෙ නැතුව ඇති. ලස්සට තාප්පෙ ගහලා වට කරලා තියෙන්නෙ. ඒත් ඉතින් ඉස්සර තැම්පත් වෙච්ච අයට තමයි ලොකු ඉඩක් තියෙන්නෙ. දැන් ඒ කෝලං හරි යන්නෙ නැනෙ. මොකද ආපු ගමන් ඇතුළට ගිහින් අලු වුණා. අලු ටික අඩියක විතර වළ දැම්මා. අඩි හතරක් පහක් උසට බැම්ම බැන්දා. අවුරුද්දට  සැරයක් ඉටි පහනක් පත්තු කරා. ඒකත් බලන් යද්දි හරි සිම්පල් ප්ලෑන් එකක් තමයි.

අයියෝ අයෙක් වැහි බිංදු එක දෙක වැටෙන්න ගත්තා. වැස්ස කියලා ටිකක් නතර වෙලා ඉන්නත් හිතෙනවා. ඒත් එහෙම ඉදලා බැනෙ. ගෙදර හිටියනං වැස්සට තෙමෙන්න තිබ්බා. ආසම වැඩෙ. කොළඹ වැස්ස ඒ තරං හොඳ වැස්සක් නෙමෙයි තෙමෙන්න. දැන්නං ටික්ක මහන්සි වගෙ. මේ වෙලාවට බිත්තර ආප්පයක් කාලා කෝපි එකක් බොන්න තියෙනවනං ගති නේද? කොළඹ බිත්තර ආප්පයක් කන්නෙ කොහොමද බිත්තරෙ සයිස් එකටම තමයි මුන් ආප්පෙත් දාන්නෙ. මළ මඟුලයි... ඉවරයි මයෙ ඇඟ නාවල හරියෙන් රාජගිරිය පැත්තට පාර පනිනවත් එක්කම ආපු කාර් එකකින් මයෙ ඇඟ වැහි වතුර වලින් නාවගෙන ගියා. ෂික්... කුඩේ ඉහළගෙන මම යන්තං ඇඟ බේරගෙන ආවා. දැන් ඉතින් ඉවරනෙ. මුන්ට කාර් එකක් ගත්තාම හරි ලොකුකම. පොළොවෙ පය ගහලා ජීවත් වෙන්න දන්නැති සත්තු...

දැන් ඉතින් වැස්සට තෙමුණා වගෙ තමයි. මේ තෙත ඇඳුමත් එක්ක පයින් යන්න බැනේ. මම එතනින් රාජගිරිය ටවුන් එකට ගිහින් අතුරුගිරිය බස් එකකට නැග්ගා. මයෙ ඇඟ තෙත නිසාද කොහොද බස් එකෙ හිටගෙන හිටපු අය මයෙන් ඈත් වෙලා හිටියෙ.

‘ මල්ලි ඔය කුඩෙ සීට් එකක් අස්සෙන් දාලා බෑග් එක උඩින් දාන්න...‘ කොන්දා ඉස්සරා ඉදගෙන මට කෑ ගැහුවා. ‘ කෝ රාජගිරියෙන් නැගපු අය සල්ලි ගන්ඩ...‘

දැන් බස් වල ටිකට් ගන්න කියන්නෙ සි.ටි.බි එකෙ විතරනෙ. මුන්ට ඕන සල්ලි. රුපියල දෙක හරි තියාගෙන අපිටම ගොරවනවා. මමත් ඉතින් සල්ලි දීලා සීට් දෙකක් අතර තිබුණු ඇදි දෙකක් අල්ලගෙන පැද්දි පැද්දි ලේක්හවුස් එක ගාවට ආවා. එතනින් බැහැලා ගොල්ෆේස් එකට ගියේ වෙනදා වගෙ කාලය ගෙවන්න විදිහක් නැති හින්දා. වැහි මන්දාරම තාම අඩු නැහැ. අද ඉදගෙන ඉන්න වෙන්නෙත් නැහැ. ගොල්ෆේස් එකට ගිහින් වැඩක් වෙන්නෙ නැති වෙයිද? වෙන ඉතින් ඉන්න තැනකුත් නැනෙ. ප්ලෝටීන් මාර්කට් එකට යන්නත් බැහැ වැහි දවස් වලට පට්ට ගඳ. වැස්සත් එක්ක වෙරළට එන රැලි බලාගෙන කාලය ගෙවනවා.

කොටුවට එද්දි වැස්ස පායලා තිබුණු හින්දා මම කුඩෙ අතකින් එල්ලගෙන හිල්ටල්, ගලධාරි එක පැත්තෙන් ගොල්ෆේස් එකට ආවා. මහ ලේකම් කාර්යාලෙ හොල්ට් එක ගාවින් යද්දි එක පාරටම මම ගැස්සුණා.
‘ බලනවා ආකාශ් මම කීයෙ ඉදන්න මෙතන ඉන්නෙ. දැන් හයටත් ළඟයි. ඒ මදිවට වැස්ස. මම හරියට පහාමාර වෙද්දි ඩබ්ලිව්.ටී.සි එක ගාවට ආවා. ඔයාට කතා කර කරා. ෆෝන් එකත් වැඩ නැ.  මැසේජ් වලට රිප්ලයි එවන්නෙත් නැහැ...‘ කවුද කොල්ලෙක් කාටද බැනගෙන බැනගෙන යනවා. ඇයි දෙයියනේ මේක මහ පාර කියලත් ගාණක් නැනෙ.

මමත් ගොල්ෆේස් එකට යන ගමන හින්දා හෙමින් හොල්ට් එකෙ නතර වුණා.

‘ඔයා එදා ඉදලම මට බොරු කිව්වේ. තවත් ඔයාව විශ්වාස කරන්න කියලද මට කියන්නෙ හලෝ... තමුසේ මාව විනාශ කරා...‘

අම්මට සිරි එන පොට හොඳ නැ වගෙ. මේක වලියකට යන කේස් එකක්. තරහට මූ මෙතන මොනවා හරි කර ගත්තොත් මට සාක්ෂි දෙන්න වෙයි. මම හිමින් සැරේ ආයෙත් ගොල්ෆෙස් එක පැත්තට යන්න පටන් ගත්තා. වැස්ස නිසාද කොහෙද අද මුහුද හරිම නිස්කලංකයි. රළ නැඟෙන්න පණ නැහැ වගෙ. නැත්තං මුහුදටත් මොකක් හරි ෂොක් එකක් වැදිලද දන්නෙ නැහැ. මුහුදත් පිට්ටනියත් අතර තියෙන බැම්ම හරියට ලෝක දෙකක් අතර ඇති බැදීමක් වගෙ. බැම්මෙන් එහා පැත්ත මුහුද... බැම්මත් එක්කම මේ පැත්තෙ පාර...

‘ හරි එහෙමද දැන් තමුසේ කියන්නෙ...‘ මොන මඟුලක්ද? මම ආයෙත් පිටිපස්ස හැරුණා. ආයෙත් අර පිස්සා කෑ ගහාගෙන ගොල්ෆේස් එකෙ ඇවිදිනවා. මොන වදයක්ද මේ අප්පා. මාව පහුකරගෙන පොර ඉස්සරාහට ගියා. ‘ මම දැන් ඉන්නෙ ගොල්ෆෙස් එකෙ. තමුසෙ ඉනකල් මම මෙතන ඉන්නවා. කීයට හරි තමුසේ එන්න ඕන...‘

අනෙ උඹ ඉන්නවනං පැත්තට වෙලා හිටපන්කො. උඹ විතරද අප්පා මේ ගොල්ෆේස් එකෙ ඉන්නෙ. තව කොච්චර මිනිස්සු මෙකෙ ඉන්නවද? අපිටත් පාඩුවෙ ඉන්න දීලා උඹත් ඔබ කොහාට වෙලා පාඩුවේ හිටපන්කො අප්පා. ඒ පිස්සා මාව පහුකරගෙන මීටර් පහක් විතර යද්දි මෙන්න එක පාරටම ඉදිකටු වලින් ඇනෙනවා වගෙ ලොකු වැහි බිංදු එක්ක වහින්න පටන් ගත්තා. මම ටක් ගාලා කුඩේ ඉහිලුවා.

‘ ඉක්මනට වරෙන් ආකාශ්. මාව නරක මිනිහා කරන්න එපා...‘ එක පාරමට මාව බදාගෙන කෑ ගහනවා මට ඇහුණා. අර පිස්සා එක පාරටම ඇවිත් මාව බදාගෙන කතා කරනවා.

‘අනේ සොරි මචං...‘ මට කියන ගමන් ආයෙත් කොල් කරනවා. ‘ දැන් මෙහෙට හරියට වහිනවා. අකුණක් ගහලා මම මැරුණේ නැත්තං මම උඹ එනකල් ඉන්නවා....‘ පොර කොල් එක කට් කරා.  මයෙ මූණ දිහා බැලුවා.

‘ මම ලොකු අවුලක ඉන්නෙ මචං...‘ ඒ ඇස් වල ලොකු වේදනාවක් තියෙනවා කියලා මට දැණුනා. ‘ මම පණ වගෙ ආදරෙ කරපු එකා දැන් මාව මඟ අරිනවා. මට ඒක දරා ගන්න බෑ මචං...‘

මම හිනාවුණා.

‘ මට තේරෙනවා මචං... එක පාරටම උඹට මේක කියන එක පිස්සු වැඩක්. උඹට මේක තේරෙන්නේ නැහැ. අනේ මන්දා බං මට තේරෙන්නෙ නැ බං. මම මොකද්ද එයාට කරපු වැරැද්ද... මයෙ පණටත් වැඩිය මම එයාට ආදරේ කරා. තාමත් එහෙමයි. එක දවසක්වත් එයාව බලන්න බැරිව  හිටපු මම එයා රට ගිහින් උපාධිය අරගෙන එනකල් බලාගෙන හිටියා. රට ගියාට පස්සෙ එයා වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ....‘

මම එක පාරටම ඒ ඇස් දිහා බැලුවා. ඒත් එක්කම ආපු ලොකු හුළඟක් එක්ක කුඩේ ගහගෙන ගියා. යාලුවා එක පාරටම පැනලා කුඩේ අල්ලගෙන ආපහු මම ගාවට ආවා.

‘තැක්ස්...‘ මම කිව්වා.

‘ මමයි තැක්ස් කරන්න ඕනි.... වැස්සෙන් මාව බේරගත්තට.‘ යාලුවා කිව්වා.

‘ මම තෙමිලා ඉන්නෙ කොහොමත්..‘ මම කිව්වා. ‘ මගදි කාර් එකකින් ඉගිලුණු කෙනෙක් මාව නාවගෙන ගියා...‘

‘ඔහ්... රාජගිරිය හරියෙන්ද...?‘ යාලුවා ඇහුවා.

‘ හ්ම්...‘

‘ ඒ මමම තමයි...‘ යාලුවා හිනාවෙලා කිව්වා.

‘ අහ් එහෙමද...?‘

‘ සොරි යාලුවා... යමු අපි ඔයාට ඇඳුමක් ගමු...‘

‘ අපෝ ඕක මොකද්ද...? වතුරනෙ මේ තියෙන්නෙ. මේක වෙලිලා යයි. දැන් වැස්සත් පායලනෙ....‘

‘ වැස්ස පායගෙන එද්දි අර පැත්තෙන් මතු වෙන්නෙ මොකද්ද...?‘ යාලුවා මට ඇඟිල්ලෙන් පෙන්වන ගමන් ඇහුවා.

‘ ඒක දේදුන්නනෙ...‘

‘ ආසද ඒ දේදුන්නට...‘

‘ මම කොහොමත් පොඩි කාලෙ ඉදලා දේදුන්නට ආසයි තමයි.‘

‘හාහාහා ඒකත් එහෙමද...?

‘ ඒක නෙමෙයි කාටද පාර හැමතැනම මේ කෑ ගහගෙන බැණගෙන යන්නේ...‘ මම මට තිබුණු ප්‍රශ්නෙ ඇහුවා. ඒ ප්‍රශ්නෙත් එක්කම යාලුවාගෙ මුහුණ අයෙත් කළුවර වුණා.

එක පාරටම අහස දෙබෑ කරගෙන විදුලියක් කෙටුවා. ආයෙත් ඒකට කුඩෙ විසි වෙලා ගියා. යාලුවා ආයේ කුඩේ අරන් එන්න ගියෙ නැහැ. හුළඟත් එක්ක මට අල්ල ගන්න බැරි දුරකට කුඩේ ගියා. යාන්තමට වැටුණු අරමෝසම් වැස්සත් එක්ක එහා පැත්තෙන් පායලා තිබුණු දේදුන්න අහස පුරාවට අමුතුම සිතුවමක් ඇන්දා. මටත් නොදැනිම යාලුවා මයෙ අත අල්ලගෙන දේදුන්න දිහා බලාගෙන හිටියා.

‘ තමුසේ මට එන්න කියලා මේකද නිසල් කරන්නෙ...‘ එක පාරමට යාලුවගෙ කම්බුලට පාරක් ගහන ගමන් කවුද ඇහුවා. මමත් ගැස්සුණා.

‘අකාශ්...‘ යාලුවා ආපු යාලුවාව අල්ල ගත්තා. ‘ කලබල වෙන්නෙ නැතිව ඉන්නවා. මෙතන තමුසෙ හිතන විදිහෙ දෙයක් වුණේ නැහැ. අනේ සොරි  මචං... මෙයා වැරදි විදිහට තේරුම් අරගෙන...‘

මම දෙන්නම දිහා බලාගෙන හිටියා. අකාශ් කියන යාලුවා එක දිගමට රණ්ඩු කරන්න ගත්තා.

‘ සොරි...‘ මම නිසල් යාලුවා දිහා බලලා කිව්වා. ‘ මම දැන්  යන්න ඕනි...‘

‘ ඔහ්...‘ නිසල් කිව්වා.

‘ මොකටද යන්නෙ... තමුසේ ඉන්නවා මම යන්නං.. මේකට තමයි මෙයා මෙච්චර කෑ ගැහුවේ..‘

අකාශ් යාලුවට ඇති තරං කෑ ගහන්න දීලා මම එතනින් එන්න ආවා. අඩියෙන් අඩිය මම ආයෙත් පාර පැත්තට එද්දිම කාන්දමකින් මාව ආ පස්සට අදිනවා වගෙ මට දැණුනා. ඒත් ආයෙත් ඒ පැත්ත බලන්නෙ නැතිව මම පාරට ආවා. අහස පුරාවට සිතුවම් ඇන්ද දේදුන්න මැකිලා තිබුණා. මුහුදේ ගිලුණු ඉර පුංචි පුංචි තරු පන්ති වලට ඉඩ දීලා නිදාගෙන. තව ටිකකින් හඳ පෑයුවාම තරු එළියත් මැකිලා යාවි....

1 comment:

ඔබට බොහොමත් ස්තූතියි...