කඳුළු සිත්තම් (46-50)


නාලා ගිරිං ගජවරං අතිමත්ථ භූතං...
දාවග්ගිදා චක්ක මසනීව සුධාරුනං තං....
මෙත්තම්බුසේක විදිනා ජිතවා මුනින්දෝ...
තං තේජසා භවතු තේ ජය මංගලානි...

හීනෙන් ඇහුණු ඒ සද්දෙත් එක්ක මම ගැස්සිලා ඇහැරුණා.. අද සතිෂ් අයියගෙ වෙඩින් එක. එයා ලස්සනට ඇති. මම හිතෙන් මවා ගත්තා. වෙඩින් එක නිසා රැවුලත් වැව්වා. ඒ දවස් වල කිස් කරද්දි මම රැවුල් කොට ඇනෙනවා කිව්වෙ නැහැ. මම දන්නවා එහෙම කිව්වොත් අනිවාර්යෙන්ම සතිෂ් අයියට දුක හිතෙනවා කියලා. තුන් අවුරුදු අපේ ආදර කතාවත් දැන් ඉතින් අවසානයි... මට ඇස් වලට කඳුළු ආවේ නැහැ.

මම පැදුරෙන් නැඟිටලා මම අයෙත් සතිෂ් අයියගෙ ෆොන් ඒකට කෝල් එකක් ගත්තා.

හොලෝ....සතිෂ් අයියගෙ කටහඩ නෙමෙයි ඒ... කවුද කතා කරන්නෙ...

ඔහ් සතිෂ් අයියගෙ මල්ලි වගෙ...

සතිෂ් අයියා ඉන්නවද?‘ මම ඇහුවා.

අහ් උඹද කතා කරන්නෙ.... තවත් මොකටද යකෝ කතා කරන්නෙ. අද වගේ සුබ දවසක් මස්තබාල්දු කරන්ඩද? මෙතන අවමංගුලක් කරන්නෙ නැතුව තොගේ වැඩක් බලාගෙන හිටපිය. අමන පාහරයා......?‘

මම කරදර කරන්න ඕන වුණේ නැහැ ආකාශ්... අයියට කියන්න මම කරදරයක් නැතිව ඉන්නවා කියලා... එයාට සුබ පැතුවා කියන්න..මම ඒක කියද්දිම ෆෝන් එක කට් වුණා.

ලස්සන රාජ කුමාරයෙක් වගෙ මගෙ සතිෂ් අයියා පොරුවේ ඉන්න විදිහ මම හිතින් මවාගත්තා. ඇස් දෙක පියාගෙන පොරුවේ චාරිත්රන බලාන හිටියා. ඔයාට සුබ මංගලම් මගෙ රත්තරං...

මල්ලි සතිෂ් අයියට පණිවිඩ් දේවි. තවත් ඉතින් මේ ෆෝන් එකෙන් මට වැඩක් නැහැනෙ... සිම් එක අරගෙන ෆොන් එක පන්සල පහලින් තිබුණ ගගට විසි කරා. වොෂ් රූම්එකට ගිහින් සිම් එක දාලා වතුර ගැහුවා. කලින් තිබුණ ගේ එෆ්.බී එකේ මේ නම්බර් එක දාලා තිබුණ නිසා තමයි මෙච්චර දුරක් මම ආවෙ. අය කවමදාවත් ෆෝන් එකෙන් මට සම්බන්ධතා නැහැ.

මම කාමරේට ඇවිත් ගෙදරට ලියුමක් ලිව්වා. මට කරදරයක් නැතිව ඉන්නවා කියලා අම්ම දැන ගත්තාම සතුටු හිතෙවි. අවුරුදු ගාණකින් මගෙන් ආයෙත් ගෙදර ලියුමක්. අම්මගෙ පොතට සල්ලි දැම්මා මිසක් හොඳක් නරකක් කියලා මම ලියමු ලිව්වෙ නැහැනෙ. සමහරවිට මාසේ අවසානේ පොතට සල්ලි ඇවිත් තිබුණාම මම කරදරයක් නැතිව ඉන්නවා කියලා අම්මලා දැනගන්න ඇති.

එදා දවල් පන්සලේ දානයක්... පොඩි හාමුදුරුවරු එක්ක මමත් දාන ශාලාව ඒකට ලෑස්ති කරා. මම තැනකට ආවාම එතනට අනුවර්තනය වෙනවද? මට සතිෂ් අයියා තාමත් මම ගැන හිතනවා ඇති. ඇස් වලින් කඳුළු වැටුණත් මම දත්මිටි කාගෙන ඒවා හංගගත්තා. විපස්සි හාමුදුරුවෝ අද දවස ගැන දන්න නිසාම නිතරම වගෙ මාව කතාවට අල්ල ගත්තා. හිතට හොරා මමත් උත්තර දුන්නා.

දවල් දානෙට ආව හාමුදුරු කෙනෙක් ගැන මම ගොඩක් පැහැදුණා. වයස අවුරුදු හැටක් විතර ඇති මගේ හිතේ. ඒත් පැහැපත් පින්වත් පෙණුමක් හාමුදුරුවන්ට තිබුණා. ශරීරය ගැන හාමුදුරුවෝ කියපු බණ මට මම ගැනම හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරා. දවල් කෑම කලා ඇවිත් මම බුදුගෙට වෙලා ඒ හැම වචනයක්ම ආයෙ අයේ මතක් කරා. ඒ මතකයන් යට ගිහින් එක පාරම සතිෂ් අයියගෙ රූපය කදුළක් වෙලා කම්මුල දිගේ ගලාගෙන ගියා...

පහුවදා උදෙත් සුපුරුදු වතාවත් ටික කරලා මම බුදු ගෙට ආවා. දැන් මට හිතට පොඩි හරි සැනසීමක් තියෙන්නෙ මේ බුදු ගෙයි ඇතුළේ විතරයි. අද සතිෂ් අයියා රට යන දවස.. මම දන්නවා හිත හදාගෙන සතිෂ් අයියට රට යන්න බැහැ කියලා. ඒත් දැන් එයාගෙ පවුල වෙනුවෙන් එක කරන්න ඕන.

ලොකු හාමුදුරුවෝ අක්ෂිදාන සංගමයට ඇස් දන් දීලා තිබුණා. මමත් අයදුම් පත‍්‍රයක් ගෙන්නගෙන මුළු සිරුරම ලීවා. විපස්සි හාමුදුරුවොත් මුළු සිරුරම ලිව්වා. දැන් මට කියලා අයිති කිසිම දෙයක් නැහැ. මම එන්න එන්නම නිදහස් වෙනවා කියලා මට දැණුනා.

දවසක් විපස්සි හාමුදුවෝ පන්සලේ බෝධිපූජාවක් තියන දිහා මම බලාගෙන හිටියා...

රන්වන් පාටින් දළුලන බෝධිය
නිල්වන් පාටින් කොළලන බෝධීය
ගෞතම මුණිදුන් පිටදුන් බෝධිය
අපිත් වදිමු ජය ශ‍්‍රී මා බෝධිය....

පුන් සද මෙන් කදු මුදුනේ දිස්වෙන
රන්වන් සිවුරක් පොරවා රැස්දෙන
තුන් ලොවටම මෙත් කරුණා වස්සන
අන්න බලන් බුදු සමිදුගේ ලස්සන

බෝධි පූජා කවි ඉස්සර නම් කට පාඩම්. බෝධි පුජාව ඉවර වෙනකල්ම මම අහගෙන හිටියා.. බෝධි පූජාව ඉවර වුණාට පස්සේ විපස්සි හාමුදුරුවෝ මයෙ ගාවට වැඩියා.

සංජන... දැන් සතුටින්ද ඉන්නේ...මම කල්පනා ලෝකෙන් ගොඩ අරගෙන විපස්සි හාමුදුරුවෝ ඇහුවා.

මට මටම කියලා ලැබුණ ආදරේ අමතක කරන්න බැහැ හාමුදුරුවනේ...

පේමති ජායති සොකෝ - පේමති ජායති භයං
පේමති විප්පමුත්තස්ස -නනථ සොකෝ කුතො භයං.... ඒකයි සංජන බුදුබණ... මමත් දන්නවා හිතට කා වැදුණ දෙයක් අමතක කරන්න අමාරුයි කියල. ජාතක පොතෙන් බාගයක්ම තියෙන්නෙ ආදරය නිසා මුලාවට පත්වුන අයගෙ විස්තර තමයි...

ආදරේ මිනිස්සුන්ව මුලා කරනවද හාමුදුරුවනේ...

ආදරේ කියන්නෙ අයහපත් වෙනවට අකමැති කියන එකයි සංජන... අපි දකින්න ඕන හැමකෙනාගෙම යහපත. ඒ කියන්නෙ හැමෝටම ආදරේ කරන්න ඕන... ඒත් සංසාරේ අපි පාරමිතා පුරාගෙන එන විදිහක් තියෙනවා මල්ලි. බුදු හාමුදුරුවෝ කල්ප ගාණක් පෙරුම් පිරුවේ උන් වහන්සේට ඊට කලින් නිවන් දකින්න බැරිව නෙමෙයි... ඕන තරං අවස්ථා ආවා... ඒත් හිතේ තිබුනේ බුදුවෙන අධිෂ්ඨානේ. ඒ වෙනුවෙන් කොච්චරනං කැප කිරීම් කරාද? එතනත් ආදරේ තිබුණා. කුස ජාතකය සංජන අහලා ඇතිනෙ. තමන්ගෙ බිසව වෙනුවෙන් අවුරුදු හතක් බැල මෙහෙවරකම් කරා. ඇයි තව චුල්ලපදුම ජාතකය... තමන්ගේ බිරිදට උරය පළලා ලේ දුන්නේ... ඒ හැම දෙයක්ම පාරමිතා.... චේතානහං භික්ඛවේ කම්මං වදාමි... සිතුවිල්ලයි කාර්යය වෙන්නෙ ...

මමත් මේ පුරන්නෙ පාරමිතාවක් වෙන්න ඇති හාමුදුරුවනේ... නිවන මට ගොඩක් දුරයි. ඒත් මටත් ඒ සංසාර සැපය හොයන්න බැරිද හාමුදුරුවනේ...මම විපස්සි හාමුදුරුවන්ගෙන් ඇහුවා.

ඒ කිව්වේ...

මහණ වෙන්න...

විපස්සි හාමුදුරුවෝ මොකවත් කිව්වෙ නැහැ.

එක අතකින් මම වගේ සල්ලාල ජීවිතයක් ගත කරපු එකෙක් මහණ වෙන්නෙ ඇයි නේද හාමුදුරුවනේ... ඒක සාසනේටත් කරන අවමානයක්...

තමන් ගැන එහෙම හිතන්න එපා සංජන.. අපි මේ ලෝකෙට ආවේ තනියම. කවදා හරි යන්නෙත් තනියම.. බුදු හාමුදුරුවෝ අපිට බලපෑම් කරලා නැහැ. පුළුවන් තරං හොඳ පාරේ යන්න අපිට අවස්ථාව තියෙනවා. ... මට කියන්න සංජන අංගුලිමාල වගේ මිනී මැරුවද? භාරද්වාජ බමුණා වගේ බුදු හාමුදුරුවන්ට නිගා කරාද? නැහැනේ. දේවදත්ව වගේ බුදු හාමුදුරුවන්ට ගල් පෙරළුවද? නැත්තං මොනවා හරි ආනන්තර්ය පාප කර්මයක් කරාද? නැහැනේ..... මිනිස්සුන්ගේ වැරදී වැටහීම නිසයි මුලාවෙන්නෙ සංජන... හරි පාර පෙන්නුවාම ඒ ආත්මෙදිම අංගුලිමාල මහ රහතන් වහන්සේ නමක් වුණා. භාරද්වාජ බමුණත් රහත් වුණා. දේවදත්ත ස්ථවිරත් අපායේ ගියේ බුදුන් සරණ ගිහිං..

මම ගත කරේ එහෙම ජීවිතයක් නෙමෙයි හාමුදුරුවනේ....

එහෙනං...

ඒක කාමයෙන් පිරුණ ලෝකයක්... ඒ ලොකෙන් මම ආදරේ පිරුණ ලෝකෙට ආවා...

එහෙනං දැන් යථාර්ථ රසයෙන් පිරුණ ලෝකෙට එන්න සංජන.... දන්නවද අම්බපාලි ගණිකාව.. බුදු හාමුදුරුවන්ගෙ කාලේ හිටපු නම ගිය ගණිකාවක්... සංජන හිතලා බලන්න කොයි තරම් පිරිසක් එතුමිය ගාවට යන්න ඇද්ද...? කොයි තරම් කම් සැප විදින්න ඇද්ද...? ඒත් අම්බපාලි ථේර ථේරී ගාථා වල මොනවද අවසානෙට තියෙන්නෙ... ඒ හැමදේකින්ම එතුමිය යථාවබෝධය ලැබුවා... හංසයෝ වගේ පිරුණ දෙතන දැන් වතුර පෙරා අයින් කරපු පාංකඩ වගේ එතුමිය දැක්කා. අක්බඹරු පැහැයෙන් තිබුණ කෙස් සුදුවෙලා හණ කෙදි වගේ දැක්කා... ඔපයට ලස්සට තිබුණ සම වේලූණු වැටකොළු ගෙඩියක් වගේ දැක්කා... මේක තමයි ඇත්ත සංජන. වක්කලී හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගේ සිරුරට කොච්චරනං ඇලූම් කරාද සංජන. ඒත් බුදු සිරුරත් වියපත් වෙනවා. ලෙඩ වෙනවා. වෙනස් වෙනවා දැකලා වක්කලී හාමුදුරුවොත් රහත් වුණා. ජීවිතේ විදලා තේරුං ගත්තාමයි ඒ දේ අතහරින්න පහසු මල්ලියේ... නැත්තං හිතට හොරෙන් අයෙත් අපි ඒ වරදෙ බැදෙනවා....

උගත් බුද්ධියෙන් අපි හැම දෙයක්ම දන්නවා. ඒත් ඒ දන්න දේවල් කතා කරන්න ගියාම අපිම මෝඩයෝ වෙනවා. දන්න කියන කාලේ ඉදලා බණ අහනවා. ඒත් තවම කැඩුවේ නැත්තෙ එකම එක ශික්ෂාපදයක් විතරයි. ඒක කාමෙසු මිච්ඡාචාර නෙමෙයි කියලා හැමෝම දන්නවනෙ ඉතින්...

මට මහණ දම් පුරන්න පුළුවන් වෙයිද හාමුදුරුවනේ...

හිත ඇත්නම් පත කුඩාද මල්ලියේ.... නිවන් දකින්න බැරි වුණත් සංසාර ගමන කෙටි කරගන්න අපි උත්සහා කරමු...

පාරමිතා නොපුරමු අපි දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළගට විසි කරමු
හමුවෙන හැම වාරේ...//

කඳුළු වලින් දියවි යනවා නම්
අවිහිංසක රූපේ
දොරේ ගලන තුරු කඳුළු සලන්නම්
මට ඔබ නෙපෙනෙන සේ

පාරමිතා නොපුරමු අපි දෙදෙනා ....//

මට ඔබ ඔබ මට පෙම් කල තරමට
වෙන් වී යන්නට බැරි
අසම්මතේ පෙම් වතුන් නොවෙමු
අපි වරදට වහල් වෙවී

පාරමිතා නොපුරමු අපි දෙදෙනා ....//

ගායනය- ශශිකා නිසංසලා මහත්මිය


දවස් දහයකින් විතර අම්මයි, තාත්තයි පන්සලට ආවා. ගෙදරට ලියුම හම්බෙලා. එකපාරම ලොකු හාමුදුරුවෝ ගාවට යන්න කලින් විපස්සි හාමුදුරුවො අම්මටයි, තාත්තටයි කරා කරා. අම්මා මාව බදාගෙන ඇඬුවා. ඒත් මගෙ ඇස් වලට කඳුළු ආවෙ නැහැ. මම මහණ වෙන්න කැමති කීවාම අම්මා පුදුම වුණා. තාත්ත බිම බලාගෙන හිටියා. විපස්සි හාමුදුරුවෝ දෙන්නටම කියලා දුන්නට පස්සෙ ඒකට කැමති වුණා. අම්මා සන්තෝෂ වුණා මම මහණ වෙන එකට. මෙච්චර කාලයක් ගත කරපු සල්ලාල ජීවිතේ දැන් නතර වේවි. විපස්සි හාමුදුරුවොයි, අම්මයි, තාත්තයි, මායි ගිහින් මේ ගැන ලොකු හාමුදුරුවන්ට කිව්වා.

මම ඒත් බැලූවා මේ ළමයා මොකද මෙච්චර ආගමට ලැදි කියලා...ලොකු හාමුදුරුවෝ මම දිහා බලලා කිව්වා. ළමයගෙ කේන්දරේ එහෙම ගෙනාවද?‘

අම්මා කේන්දරේ ගෙනත් නැහැ. ඒකට කාරි නැහැ... මම කේන්දරේ හදන්නංකෝ... බලමු අපි...ලොකු හාමුදුරුවෝ කිව්වා.

දවල්ට කන්න ඉන්න කිව්වත් අම්මයි තාත්තයි හිටියේ නැහැ. අම්මා ගියේ හිතේ දුකින්. ලොකු හාමුදුරුවෝ සතියකින් විතර මගෙ කේන්දරේ හැදුවා. මහණ වෙන්න සුබ නැකත් එකෙ තිබුණා. අවුරුදු දෙකකින් විතර තියෙන සුබ නැකතකින් මාව මහණ කරන්න සුදානම් කරා. මම ඒක ගෙදරට කියලා යැව්වා. එතකල් මම මහණ වෙන්න ඕන කරන ගාථා වත්වත් පුරුදුවෙන්න ඕන වුණා.

සතිෂ් අයියා දැන් රට. සමහර විට දැන් එයා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා ඇති... මට සතිෂ් අයියා මනාලයෙක් වෙනවා බලන්න බැරි වුණා. එදා මම මඟුල් ගෙදර හිටියනං මොකක් හරි ලොකු අවුලක් යනවා. මම කොහොමද මම ආදරේ කරපු කෙනා තවත් කෙනෙක්ගෙ අත ගන්නවා බලාගෙන ඉන්නෙ... මේ හිත ගලක් වගෙ තද කරගෙන හිටියත් මමත් ආදරේ කරපු හදවතක්. දැන් ඉතින් මට තියෙන්නෙ මේ බැදීම් එකින් එකට නැති කරගෙන මානසික සතුටක් හොයන එක තමයි. මම මහණ වෙන්න ඉන්නවා කියන දේ එයාට කියන්න බැරි වුණා. හිතට දුකයි. ඒත් මම හැමදාම ඒ දුකින් ජීවත් වෙන්නද? හිත හදාගන්න වෙනවා නේද? කවදා හරි දවසක අයෙත් මාව හොයාගෙන ආවොත් එයා සතුටු වෙයි මම ඉන්න තත්ත්වය දැකලා. මොකද මම දැන් දුකින් නෙමෙයිනෙ ඉන්නෙ. අනික කාමයෙන් පිරුණු ඉස්සර ලෝකෙ දාලා ඇවිත්....

ලොකු හාමුදුරුවෝ අනුරුද්ධ හාමුදුරුවෝ එක්ක කතා කරලා මාව දියතලාව පන්සලකට යැව්වා. මම හිතන්නෙ ලොකු හාමුදුරුවන්ගෙත් ගුරුවරයෙක් වෙන්න ඕන අනුරුද්ධ හාමුදුරුවෝ. එදා දානෙට ආව වයසක හාමුදුරුවෝ ගැනයි මම කිව්වේ.. මගේ ගුරු හාමුදුරුවෝ වෙන්නෙත් අනුරුද්ධ හාමුදුරුවෝ හින්දා දියතලාව පන්සලට යන්න මම කැමති වුණා. කාලයත් එක්ක මට තව ඉගන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අයෙත් දවස්, සති, මාස අවුරුදු ගණන් ගත වුණා.... මම පාඩම් කරා. අතර මඟ නතර වෙලා තිබුණ උපාධිය සම්පූර්ණ කරා. පන්සලේ වතාවත් ටික කරගෙන ලොකු හාමුදුරුවොත් බලාගෙන මම පාඩුවේ හිටියා. ඉදලා හිටලා ටවුමට යනවා. ඒත් හදිසියක්ම වුණොත් විතරයි. නැත්තම් දානේ පන්සලට ලැබෙනවා. දායකයොත් හරි හොඳයි. මේ විදිහට අවුරුදු දෙක ගෙවිලා මම මහණ කරන දවසත් ළං වුණා. තව සති දෙකක් විතර ඇති.

දවසක් බණ පොතක් පෙරළ පෙරළ ඉද්දි මට පොඩි ළමයෙක්ගේ ෆොටෝ එකක් හම්බුණා. කාගෙද මේක...? මම ලොකු හාමුදුරුවෝ ගාවට ගියා. ෆොටෝ එක දීලා පැත්තට වුණා...

සංජන දන්වද මේ කවුද කියලා...ලොකු හාමුදුරුවෝ ෆොටෝ එක දිහා බලාගෙන ඇහුවා.

නැහැ ලොකු හාමුදුරුවනේ...මම හිස නමාගෙන කිව්වා. මට තාත්තා කෙනෙක් වගේ ඉන්න ලොකු හාමුදුරුවෝ ගැන මට තිබුණේ පුදුම ගෞරවයක්. පැහැදීමක්. අද මම හිත සංවර කරගෙන හරි පාරේ යන්නෙ ලොකු හාමුදුරුවෝ නිසයි...

සංජන මේ ඉන්නෙ මගේ පුතා....ලොකු හාමුදුරුවෝ කිව්වා... මම ලොකු හාමුදුරුවෝ දිහා බැලූවා.. ලොකු හාමුදුරුවෝ කලින් විවහා වෙලා හිටියා කියලා මම දැනගෙන හිටියෙ නැහැ. ඇත්තටම මට ඒක දැනගන්න ඕනත් නැහැ. සාමාජයේ ඕන තරං බැදපු අය මහණ වෙලා ඉන්නෙ.. මහණ වුණ අය බැදලා ඉන්නෙ.. මේක සාමාන්‍යය දෙයක්..

එහෙයි හාමුදුරුවනේ... බණ පොත පෙරළද්දි ෆොටෝ එක බිමට වැටුණා.. ඒකයි මම ගෙනත් දුන්නේ...මම එහෙම කියලා ෆොටෝ එක ලොකු හාමුදුරුවන්ට දීලා පොත අරගෙන ආවා. ලොකු හාමුදුරුවෝ ෆොටෝ එක අතින් පිරිමදිනවා මම දැක්කා. මොනවා වුණත් තාත්තා කෙනෙක්නෙ... සුද්ධෝධන රජතුමත් බුදු හාමුදුරුවන්ට කියන්නෙ තාත්තා කෙනෙක්ගෙ දරු සෙනෙහස කොයි වගේද කියලා.

පුතු සෙනෙහස වනාහි සිවිය විද සමටද, සම විද මසට ද, මස විද, නහර වලටද, නහර විද ඇට වලටද, ඇට විද ඇට මිදුළු වලටද කා වැදී ඇත්තාවූ ආදරයකි....

දියතලාවේ උදේට තියෙන පින්න මැද්දෙන් ඇවිදගෙන යනකොට කොයි තරං නං අපූරුද? සීතල මීදුම මට පාර කිව්වා හැමදාම. මටත් දැන් අවුරුදු විසි හතක් වගේ වෙනවා. අනේ මගෙ සතිෂ් අයියා හිටියනං මයේ ගාව. දැන් අවුරුදු තිස් දෙකක් ඇති නේද එයාට. මම එයාගෙන් වෙන් වෙලා දැන් අවුරුදු දෙකක්. සතිෂ් අයියා තාමත් රට වෙන්න ඇති.

මගෙ ලොකු හාමුදුරුවන්ටත් දැන් අවුරුදු හැට පහක්. ඒක හින්දම ලොකු හාමුදුරුවොත් නිතර අසනීප වෙන නිසා මම උපස්ථාන කරන්න ළග හිටියා. නිතරම හැදෙන බඩ කොරවෙන අමාරුවක් තමයි ලොකු හාමුදුරුවන්ටත් තිබුණේ. වෙලාවට කෑවේ නැත්තං ඉතින් මටත් ඒකම තමයි ලෙඩෙ. ලොකු හාමුදුරුවන්ට උපස්ථාන කරන එක මට ලොකු මානසික සතුටක් ගෙනත් දුන්නා. බෙහෙත් හදන එක, තෙල් බාම් ගාන එක මගේ අතින්ම මම කරා. ඉදලා හිටලා විපස්සි හාමුදුරුවොත් අපේ පන්සලට වැඩියා. මමත් ඉදලා හිටලා නුවර ගියා. ඉතින් මේ විදිහට සරලව ජීවිතේ ගෙවිලා යනවා දැන්.

මහණ වෙන්න සතියක් තියලා මම නුවර ගියපු දවසක රෑ මට එන්න බැරි වුණා. ඒක හින්දා මම පහුවදා උදේ දියතලාව පන්සලට ආවා. පන්සල ඉස්සරා කාර් එකක් නතර කරලා. වයසක ගෑණු කෙනෙකුයි, තරුණ කෙනෙකුයි ඉස්සරා ලොකු හාමුදුරුවෝ එක්ක කතාවත්. මම පිටිපස්සෙන් කාමරෙට ගියා. ඇදුම් මාරු කරගෙන ඇවිත් උදේට කන්න ගත්තා.

මට මගේ කොල්ලව බේරගන්න බැරිවුණා හාමුදුරුවනේ...වයසක ගෑණු කෙනා අඬන සද්දෙ මට ඇහුණා...

අම්මා අඬන්න එපා...තරුණයා අම්මව සනසනවා...

අපිට මොනවද දැන් කරන්න තියෙන්නෙ...ලොකු හාමුදුරුවෝ අහනවා.

මගෙ මුණුබුරා දැන් ඉන්නෙ දැඩි සත්කාරෙ... ඉක්මනින් ඔපරේෂන් එක නොකොරොත් ...... අයියෝ...............ගැණු කෙනා විලාප තියන්න ගත්තා.

අම්මා.... මේක පන්සලක්.... ඔහොම කෑ ගහන්න එපා...තරුණයා කිව්වා. මිනිස්සු වරදවා හිතයි...

මට කරන්න පුළුවන් දේ මම මීට අවුරුදු හැටකට කලින් කරා උපාසක අම්මෙ... දැන් මම වයසයි... මමත් කොයි වෙලේද කියන්න බැහැ...ලොකු හාමුදුරුවෝ කිව්වා.

මම දන්නවා ලොකු හාමුදුරුවනෙ...තරුණයා කිව්වා. අපෙනුත් සෑහෙන්න වැරදි සිද්ධ වුණා.... අයියගෙ මරණෙට මමත් වග කියන්න ඕන...

සතිෂ් පොඩි කාලේ ඉදලම කීකරු දරුවා...ලොකු හාමුදුරුවෝ කිව්වා... ඒක ඇහෙනවත් එක්කම අතෙ තිබුණ පිඟාන බිමට වැටුණා.

හිත දුර හන්දා නෙතු ළග හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සිහිනේ ඔබම වේද මන්දා....//

ඈත අතීතක අමතක සෙනෙහේ
හිතවත් කරනා .....
සිහින පොතේ දහසක් අතරේ
නුඹමයි හිදිනා....
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අලූතින් පතනා...

හිත දුර හන්දා නෙතු ළග හංගා....

අහස වගෙයි සිතුව නුඹ අතීතේ
මතකෙට නැගෙනා...
හැඩවෙන සිත ළග තනියට ඉන්නේ
නුඹමද කියනා...
ඉස්සර දවසක තහනම් හීනේ
අයෙත් දකිනා...

හිත දුර හන්දා නෙතු ළග හංගා....

ගායනය- ආත්මා ලියනගේ මහතා

 හතලිස් අටවන සිත්තම

සතිෂ්.....මගෙ සතිෂ් අයියද?

සංජන....ලොකු හාමුදුරුවෝ කතා කරා.... මගෙ පපුව ගැහෙන්න ගත්තා. මම හෙමින් ඉස්සරාට ගියා....

සංජන....මල්ලි මාව අඳුර ගත්තා.... මමත් පුදුම වුණා... අම්මත් ඇස් ලොකු කරගෙන මම දිහා බලාගෙන හිටියා.

අනේ මට සමාවෙන්න අයියේ....ආකාශ් මගෙ දෙපා මුල වැටුණා.

අනේ රත්තරං පුතෙ...අම්මත් මගෙ ගාවට ආවා. මම අම්මාව තුරුල් කර ගත්තා. කියාගන්න බැරි ලොකු දුකක් අම්මගෙ පපුවෙ ගුලි වෙලා තියෙනවා කියන්න මට දැණුනා. ලොකු හාමුදුරුවෝ මම දිහා බලාගෙන හිටියා. මම අම්මාව අයෙත් වාඩි කරවලා ලොකු හාමුදුරුවෝ ගාව හිට ගත්තා.

සංජන දන්නවද මේ අය...ලොකු හාමුදුරුවෝ මගෙන් ඇහුවා....

එහෙමයි ලොකු හාමුදුරුවනේ...

බලන්න සංජන අපි සංසාරේ පතාගෙන එන හැටි....ලොකු හාමුදුරුවෝ මම දිහා බලාගෙන කිව්වා....මේ ඉන්නෙ ඉස්සර බැදලා හිටපු කෙනා.... අම්මව පෙන්නලා ලොකු හාමුදුරුවෝ කිව්වා... අම්මා බිම බලාගත්තා. මම ලොකු හාමුදුරුවෝ දිහා බලාගෙන හිටියා.

අපි දෙන්නවත් කසාද බන්දලා දුන්නෙ බලෙන්... මමත් පොඩි දවස් වල ඉදලා කැමති වුණේ මහණවෙන්න  දරුවෝ. ඒත් අපේ ගෙවල් වලින් ඒකට කැමති වුණේ නැහැ..ලොකු හාමුදුරුවෝ යටගිය කතාව මතක් කරා. කොහොම හරි සතිෂ් හම්බුණාට පස්සෙ තිබුණ සේරම මම එයාගෙ නමටයි, නෝනගෙ නමටයි ලියලා මහණ වුණා. තාත්තා කෙනෙක් විදිහට මම වගකීම් පැහැර හැරියා නෙමෙයි... පුළුවන් හැමවෙලෙම සතිෂ් ගැන හොයලා බලලා කරන්න ඕන දේවල් යුතුකම් වගකීම් ඉස්ට කරා.... සතිෂ්ට රස්සාව හදලා දුන්නට පස්සෙ තමයි මම හිත නිදහස් කරගෙන බණක් භාවනාවක් කරේ....

ලොකු හාමුදුරුවනේ.... මම ලොකු හාමුදුරුවෝ ගාව දණ ගහ ගත්තා. තමන්ගෙ ජීවිත කාලෙට සතිෂ් අයියා තාත්තව දැකලා තිබුණෙ නැහැ. එයාට කියලා තිබුණේ තාත්තා මැරිලා කියලා. ඒත් සතිෂ් අයියා දැනගෙන හිටියා තාත්තා කොහෙ හරි ඉන්නවා කියලා. සතිෂ් අයියා හරි....ඔබ වහන්සේව දකින්න සතිෂ් අයියා ගොඩාක් අසාවෙන් හිටියේ... එයා ගොඩක් දුක් වුණා ඔබ වහන්සේ දකින්න බැරිවෙන එක ගැන... අපි එක පාරක් සතිෂ් අයියා බලන්න යමුද හාමුදුරුවනෙ...එදා සතිෂ් අයියගෙ අම්මගෙන් ආයාචනා කළා වගේ මම අද සතිෂ් අයියගෙ තාත්තගෙන් ආයාචනා කරනවා.

ලොකු හාමුදුරුවෝ මම දිහා බැලුවා... අම්මගෙ ඇඬුම් හඬ ආයෙත් හීනියට ඇහුණා.. මල්ලිත් බිම බලාගෙන කඳුළු එක්ක තරඟ කරනවා.

සංජන....ලොකු හාමුදුරුවෝ සුසුමක් හෙලුවා... සංසාරේ හරි පුදුමයි දරුවෝ.... අපිට සතිෂ් ගාවට කැමති වෙලාවට යන්න බැහැ දැන්...

අම්මෙ....මම අම්මා ගාවට ගියා....මගෙ සතිෂ් අයියට මොකද වුණේ අම්මෙ...

අම්මට කතාකරගන්න බැරි වුණා. මල්ලි ආයෙත් මගෙ කකුල් දෙක අල්ලලා වැඳ වැටුණා.

අයියා අපිව දාලා ගියා අයියේ............මල්ලි කෑ ගහලා කිව්වා... පන්සල මල ගෙයක් වගෙ...

මම හිටි තැනම මට ඉන්දවුණා. ඇස් වලට කඳුළු ආවෙ නැහැ. මම වටේ තියෙන හැමදෙයක්ම නතර වෙලා වගෙ මට දැණුනා. මුන්ට පිස්සුද? මොනවද මේ කියන්නේ... මගෙ සතිෂ් අයියා මාව දාලා ගියා...? සතිෂ් අයියා කවදා හරි දවසක ආයෙත් මාව හොයාගෙන එයි කියන පුංචි බලාපොරොත්තුවක් මගෙ හිතෙ තිබුණා. එයා ගැන හෙව්වෙ බැලුවෙ නැති වුණාට හදවතින් කරපු ආදරේ අමතක කරන්න පුළුවන්ද දෙයියනේ... මාව හොයාගෙන එදා කොළඹ ස්ටේෂන් එක ගාවට ආව ඒ රත්තරං මූණ අය කවමදාකවත් මට බලන්න වෙන්නෙ නැද්ද ඒ කියන්නෙ...

කසාද බැදපු දවසේ ඉදලා අයියා හිටියෙ පියවි සිහියෙන් නෙමෙයි අයියේ...මල්ලි මට විස්තරේ කියන්න ගත්තා. අයියා ගොඩක් හුදකලා වුණා. අක්කව සතුටින් තියන්න එයා උත්සහ කරා. ඒත් අයියා නිතරම බොන්න ගත්තා. අයියා හිටියේ එක වකුගඩුවකින්. ඒක නිසා එයාට අසනීප වුණා. අයියගෙයි ඔයාගෙයි සම්බන්ධෙ අක්කා දැනගත්තට පස්සෙ නිතරම රණ්ඩු කරන්න ගත්තා. ඒක නිසා දෙන්න දික්කසාද වුණා. ළමයා භාරගන්න අක්කා කැමති වුණේ නැහැ. අයියා ළමයත් අරගෙන ආයෙත් ලංකාවට ආවා. අපි කවුරු කිව්වත් එයා බොන එක නතර කරේ නැහැ. අඩුම තරමෙ ළමයා ගැනවත් හිතලා... ආයෙත් වකුගඩුවක් බද්ධ කරන්න බැරි තරමට එයා දුර්වල වෙලා හිටියේ... අවසාන කාලෙදි එයා කිව්වෙත් එක පාරක් සංජන බලන්න දෙන්න කියලා.... අපි මහ පව්කාරයෝ... අයියගෙ අවසාන කැමැත්තවත් ඉෂ්ට කරන්න බැරි වුණා...මල්ලි අඩ අඩ විස්තරේ කිව්වා.

මේක සැබැ ලෝකෙද? මොකද්ද මේ වෙන්නෙ... ඇයි මේ වගෙ දෙයක් මට අහන්න ලැබුණේ... මම එයා මැරුණනං මේ කිසිදෙයක් මට අහන්න ලැබෙන්නෙ නැහැ නේද? ඇයි ඉතින් දැන් මම ජීවත් වෙන්නෙ...

දැන් කොච්චර කල්ද සතිෂ් අයියා නැතිවෙලා...මම මල්ලිගෙන් ඇහුවා...

මාස හයක් විතර වෙනවා අයියේ....

ලොකු හාමුදුරුවනේ ඇයි අපි මළගෙදර ගියෙ නැත්තේ....මම ලොකු හාමුදුරුවෝ ළගින් දණ ගහගෙන ඇහුවා. ලොකු හාමුදුරුවෝ මළ ගෙදර ගියනං මේ හැමදෙයක්ම එදා මට දැනගන්න තිබ්බා.

අපි ඒක ලොකු හාමුදුරුවන්ට කිව්වෙ නැහැ අයියේ....මල්ලි අයෙත් කිව්වා.

අම්මා නෑයන්ට කියලා තිබුණේ අයියගෙ තාත්තා රට ඉද්දි නැතිවෙලා කියලා. පවුලෙ නම්බුව බේරගන්න අපි මළ ගෙදර ලොකු හාමුදුරුවන්ට කිව්වෙ නැහැ....

අම්මා තාමත් ඇඩු කදුළින්. ලොකු හාමුදුරුවෝ පුටුවට හේත්තු වුණා...

උප්පජ්ජිත්වා නිරුඣන්ති... තේසං වූප සමෝ සුඛෝ...

මැරෙනකල් සතිෂ් අයියා මං වෙනුවෙන් ඉදලා. ඇයි මට මෙහෙම ආදරයක් ලැබුණේ... අපි දෙන්නගෙ ආදරේ ඇයි ලෝකෙට බරක් වුණේ... දැන් මොනවා කියන්නද? දැන් මොනවා කරන්නද? කල්පයක් කෑ ගහා ගහ ඇඩුවත් මගෙ සතිෂ් අයියා ආයෙත් මම ගාවට එන්නෙ නැහැ.

සතිෂ්ගෙ පුතාට දැන් අසනීප වෙලා පුතේ....අම්මා මම දිහා බලලා කිව්වා..

පුතාටත් වකුගඩුවක් බද්ද කරන්න ඕන... අම්මා කිව්වා. මට පුතා නැති වුණා.. මට මුණුබුරත් නැති වෙන්න යන්නෙ....
මම ලොකු හාමුදුරුවෝ දිහා බැලුවා...

අපි පත්තර වල ඇඩ් දැම්ම අයියේ...ආකාශ් කතා කරා. දෙන්නෙක් සල්ලි වලට වකුගඩුවක් දෙන්න කැමති වුණා... තියෙන මුළු සේසතම දීලා හරි පුතාව බේරාගන්නයි අපිට ඕන... ඒත් ඒ කිසිම වකුගඩුවක් පුතාට හරියන්නෙ නැහැ...

මම ලොකු හාමුදුරුවෝ ගාවට ගියා... දණ ගහලා වැන්දා...

ලොකු හාමුදුරුවනේ ... මම අත් දෙකෙන් වැඳගෙන කතා කරා... මටත් දාන පාරමිතාවක් පුරන්න අවසර දෙන්න...මම ආයාචනා කරා.

ලොකු හාමුදුරුවෝ මම දිහා බලාගෙන හිටියා.

මම දැන් වයසයි... මගේ ඉතුරු වකුගඩුවත් ගන්න පුළුවන්නං මම කැමතියි ඒක දෙන්න... ඒත් එහෙම කරන්නෙ නැනෙ. ජීවිතයක් බේරන එක ලොකු පිනක් දරුවෝ... තව සතියකින් සංජන මහණ වෙන්න ඉන්නෙ... මම බලාගෙන ඉන්නවා අයෙත් සංජන ඉක්මනට පන්සලට එනකල්...

මම දැන් කොළඹ යන්න ඕන ලොකු හාමුදුරුවනේ...මම කිව්වා...

අම්මයි, මල්ලියි පුදුම වුණා. මම එතනින් කාමරේට ආවා. හිතේ සතිෂ් අයියාගෙ මුණ මැවිලා තිබුණා. බලන හැම තැනම මයෙත් එක්ක මයේ සතිෂ් අයියා හිනාවෙලා ඉන්නවා මම දැක්කා... සතිෂ් අයියා අරන් දුන්න ඩෙනිම් කලිසමට අයිස් බ්ලූ ටී ෂර්ට් එක ඇදගෙන මම එළියට ආවා.  ලොකු හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා...

සංජන... දාන පාරමිතාව පුරන්නේ බොසත්වරු...මගේ හිස අතගාන ගමන් ලොකු හාමුදුරුවෝ කිව්වා...හැම දෙයක්ම හොදින් විසදෙන්න ඕන. ...ඒක මගේ යටි හිතටම වැදුණා... සතිෂ් අයියත් මම එනකල් බලාගෙන ඉන්නවා කිව්වා...
ලොකු හාමුදුරුවෝ තුන් දෙනාගෙම අත් වල පිරිත් නූල් බැන්දා. පිරිත් වතුර බොන්නත් දුන්නා. කෝකටත් කියලා මම පිරිත් වතුර ටිකක් බෝතලේට දා ගත්තා. පුතාගේ අතේ බදින්න පිරිත් නූලකුත් ගත්තා. ලොකු හාමුදුරුවන්ට වැඳලා මම කාර් එකට ඇවිත් වාඩිවුණා. අම්මා පිටිපස්සෙ ෂීට් එකට නැග්ගා. අම්මටත්, මල්ලිටත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙන වග මට දැණුනා...

පැය හත අටකින් අපි ආයෙත් කොළඹට ආවා. එහෙම්ම ගියේ පුතා හිටියේ කොළඹ අයි.සී.යු එකේ... මම පුතා ගාවට ගියා... අහිංසක කොලු පැටියා.. මොනවා දන්නවා කියලද? වයස අවුරුදු එකහාමාරක් විතර ඇති මගෙ හිතේ... ඔක්සිජන් දෙනවා. මුත්‍ර බට හයි කරලා. හැමතැනම බට වයර්. රොබෝ කෙනෙක් වගෙ.... ඇස් වලින් කදුළු එනවා. එත් මුහුණෙ ලස්සන හිනාවක්. පැත්තක් වල ගැහැලා සතිෂ් අයියා වගෙමයි.

මල්ලි ඩොක්ටර්ව එක්කගෙන ආවා...

මිස්ටර්....ඩොක්ටර් මට කතා කරා... ළමයට ගොඩාක් අමාරුයි... අපි ටෙස්ට් ටික කරමුද බලන්න...

හොදයි ඩොක්ටර්... මමත් කිව්වා... ගෙනාපු බෑග් එක මල්ලිගේ අතට දීලා මම ඩොක්ටර් එක්ක ගියා. මාව ඇඳක් පෙන්නලා එකෙ ඇලවෙන්න කිව්වා. ඉස්සල්ලාම මගෙ නාඩි චෙක් කරා. පේෂර් බැලුවා. ලේ දෙකක් ගත්තා.

මිස්ටර් .....‘ ඩොක්ටර් මයෙ නම ඇහුවා.

අයිම් සංජනමම ඩොක්ටර් කිව්වා.

ඔකෙ සංජන ... හෙට වෙද්දි මෙකෙ රිපොට්ස් ගන්න පුළුවන් අපිට... හෙට හරියටම අපි කියන්නම් මැච් වෙනවද කියලා...

හොදයි ඩොක්ටර්....

මැච් වුණොත් අපි ලිපි ලේඛන අත්සන් කරලා ඔපරේෂන් එක කරමු...

ඔව්.... ළමයාගේ ජීවිතේ බේරගන්න එකයි වැඳගත්ම දේ...

මම ඩොක්ටර් එක්කම එළියට ආවා.

අම්මා ඉස්පිරිතාලේ නතර වුණා. මම ආකාශ් එක්ක ගෙදර ආවා. එදා සතිෂ් අයියත් එක්ක මේ ගෙදරට එද්දි මේ හැම දෙයක්ම පිළිවෙලට තිබුණා. ඒත් දැන් ගේ පුරාවට තිබුණ මූසල, පාලු ගතිය සතිෂ් අයියා නැති අඩුව කියලා දුන්නා.
ගෙදර ඉස්සර හිටපු වැඩකාරයෝ කවුරුත් දැන් නැහැ. ආකාශ් මට තේ එකක් හදලා ගෙනත් දුන්නා.

මට සතිෂ් අයියගෙ සොහොන ගාවට යන්න ඕන ආකාශ්...මම තේ ටික බොන ගමන් ආකාශ්ට කිව්වා...

හොදයි අයියේ... අපි වොෂ් එකක් දාගෙන යමු ගිහින් එන්න... වෙලාව හවස හතට විතර ඇති මගෙ හිතේ...

ආකාශ් මට සතිෂ් අයියගෙ ඇදුමක් දුන්නා ඇද ගන්න. අවුරුදු දෙකක් පුරාවට සතිෂ් අයියගෙන් නොලැබුණ ඒ උණුසුම සුවඳ ඒ ඇදුම් වල තිබුණා. කිසිම බාධාවක් නැතුව ඇස් වලින් කදුළු ගලාගෙන එනවා. මමත් ඇති තරම් ඇස් දෙකට අඬන්න හදවතින් වෙර දුන්නා.

සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු මැන්නා
සයුරේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී....

කැකුළක් සිදුනෙන් හදවත පිපුණු
කදුලෙත් කටු මත විස තිබුණා
බිදුනෙන් බදුනක පිළියම් කරනට
බැරි කැළලක් ඉතිරිව තිබුණා

සෙනෙහසකට අරුතක් පුරවන්නට...

පවකින් පෙර අත් භවකින් සිදු වූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා

සෙනෙහසකට අරුතක් පුරවන්නට...//

ගායනය- අසංක ප්‍රියමන්ත පීරිස් මහතා

---------------------------- ---------


හාත්පසම නිහඬය.... තාප්පයෙන් වට වූ බිම් කොටසක බොහෝ පිරිසක් වැතිර සිටියහ. තැනින් තැන දැල් වූ විදුලි බුබුළින් පෙන්වූයේ සුන්දරත්වය නොවේ... ආකාශ් මාවත් එක්කගෙන ඒ සොහොන් කොත් මැදින් ඉස්සරාට ඇවිදගෙන යයි. ජීවිතය අදුරුයි අයියේ... ආත්මය කඩා හැලෙන්න වගෙ. පපුවට වාවන්නෙ නැහැ. ඉස්සරාට තියෙන තියෙන අඩියක් අඩියක් ගානෙ මම හදවතින් කෑ ගැහුවා. මේ නිහඩ නිශ්චල පරිසරට එක මුදාහරින්න බැරුව මම අසරණ වුණා.... ආකාශ් නතර වුණා. සෙහොන් කොතක් ළගට අත දිග් කරා.... මම තනියම එතනට ඇවිදගෙන ආවා...

එදා ගංගාරාමේ ගාවදි මම ගත්ත ෆොටෝ එකක් සොහොන් කොතේ දාලා තිබුණා. මම සතිෂ් අයියාගෙ කොත ගාව මම ඉදගත්තා. පැත්තට හිනාවෙලා සතිෂ් අයියා බලාගෙන ඉන්නවා. මමත් සතිෂ් අයියා දිහා බලාගෙන හිටියා. ජීවිතට අපිට වැරදුණේ කොතනද අයියේ...? අපි අපිට ආදරේ කරපු එක වැරදිද? ඒක අසම්මත ආදරයක් කියල බුදු හාමුදුරුවෝ කිව්වෙ නැහැ අයියේ...

අපායක හිටපු මට අලුත් ජීවිතයක් දුන්නෙ ඔයයි. ඒ ජීවිතෙට අරුතක් දුන්නෙ ඔයයි. ඔයාව තනිකරලා දාලා මම ගියේ නැහැ මගෙ රත්තරං අයියේ... මාව ඔයාගෙන් ඈත් කරා. අපිට මේ ආත්මෙදි අපිව හිමි නැහැ අයියේ.. අපි කලින්  ආත්මෙක ලොකු පාපයක් කරලා ඇති. ඒකයි අපිට අපි නැති වුණේ.. අපිට අපි කවමදාවක් ආය ලැබෙන්නෙ නැහැ අයියේ... මට සමාව දෙන්න පුළුවන්නං සමාව දෙන්න අයියේ... මම ඔයා බලන්න ආවේ නැහැ. මම පොරොන්දුව කඩ කරා අයියේ. ඔයාගේ සංජනට සමාව දෙන්න අයියෙ.. එයා ඔයාගෙන් පස්සෙ කාටවත් ආදරේ කරෙ නැහැ. ආදරය කියන ඒ උත්තරීතර වචනයේ තේරුම මම දැනගත්තෙ ඔයාගෙන අයියේ... ඒ ආදරයට වටිනාකමක් දුන්නෙ ඔයා... ඒ ආදරය ඔප්පු කරෙ ඔයා.. ඔයගේ උණුසුම නැති අඩුව මට තාමත් නොදැනෙනවා නෙමෙයි අයියෙ... මේ හිත ගලක් කරගෙන මම හිටියෙ ඔයාට සතුටින් ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕන නිසයි. මම අයෙත් ඔයාගෙ ජීවිතේට ආවනං ඔයාගේ පවුල් ජිවිතේ අසාර්ථක වෙනවා කියලා මම දන්නවා. මම කොහොමද ඒ පාප කර්මෙ කරන්නෙ අයියෙ... අවුරුදු ගාණක් ඔයාට මම ගින්දර දුන්නා. මම හදවතින් ඒ ගින්දරෙ පිච්චෙනවා අයියේ. මම එකම කදුළු බින්දුවක් සතිෂ් අයියගෙ සොහොන ගාව තැන්පත් කරා... මල්ලිත් අඩලා.

අපි යමු ආකාශ්....මම නැගිටින ගමන්  කිව්වා.

ආකාශ් මාවත් එක්කගෙන කාර් එකට නැග්ගා... ජිවීතේ සමහර වෙලාවට ඇගේ කදුළු පොර කද්දි ඇයි ස්වභාව දහමත් ඒකට එකතු වෙන්නෙ.... ආකාශ් රේඩි එක දැම්ම... කවදාවත් අහලා පුරුදු සංගීතයක් නෙමෙයි ඒක. දෙන්නම කතා නොකර ආව නිසා සිංදුවට හිත ගියේ නොදැණුවත්වමයි. සතිෂ් අයියා හීන මැව්වෙත් මේකටම නේද? එදා මම ඔෆ් කරන්න කිව්වෙත් මේ සින්දුව නේද ? ..


ඔබ මා හමුවුණ මේ ඉරහද යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි....//

ඔබ සිත මා සිත හමු වූ දා සිට  
මා ළය පීදි පරවුණු පෙම් මල ....//
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි...//

ඔබ මා හමුවුණ මේ ඉරහද යට....//

කදුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමං කළ හැටි....//
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි...//

ඔබ මා හමුවුණ මේ ඉරහද යට....//

ගායනය- කරුණාරත්න දිවුල්ගනේ මහතා

ආකාශ්ට නොපෙන්න සිය දහස් වාරයක් මම හදවතින් ඇඬුවා. පපුවෙ තියෙන බර කියලා නිම කරන්න බැහැ. මම අසරණයි.... ආයෙත් මම ආකාශ් එක්ක ගෙදරට ආවා. ඇස් වලින් ආපු උණුසුම් කඳුළු තාමත් කම්මුල් තෙමන ගමන්මයි.

ආකාශ් මට සතිෂ් අයියා හිටිය අනෙක්ස් එකට යන්න පුළුවන්ද? ....‘ මම ආකාශ්ගෙන් ගෙදරදි ඇහුවා.

පුළුවන් අයියේ...

ආකාශ් කන්නකෝ...මම ටිකක් එළියට ආවා...එන ගමන් මගදි ගත්ත කෑම ආකාශ් මේස උඩින් තිබ්බා..

අයියා කන්නෙ නැද්ද?‘

මම එහෙ ගිහින් කන්නම් මල්ලි....

ආකාශ් කනකල් මම එළියට ආවා. මේ රැය කොයි   තරම්නං නිහඩද? සීතල සුළගත් හිතට අමුතුම හැගීමක් ගේනවා.. මම එළියේ තිබුණ සැටියේ ඇවිත් වාඩිවුණා... මීට අවුරුදු පහකට විතර කලින් මම මේ පුටුවෙ මෙ‍හෙම්ම වාඩිවෙලා හිටියා...  ගේ ඇතුළින් සද්දයක් ඇහෙනවා.... සතිෂ් අයියගෙ කට හඩ හැමතැනම දෝංකාර දෙනවා මට ඇහුණා.

‘‘
මගෙ තීරණෙ මම කෙලින්ම අම්මට කිව්වා. මට බඳින්න බැහැ. ඒක කියටවත් කරන්නෙ නැහැ මම...මෙන්න දෙයියනේ ආයෙත් සතිෂ් අයියා අවේෂ වෙලා ගෙයින් එළියට ආවා.

සංජන අපි යමු..මටත් සැරෙන් කිව්වා. මම නැගිට්ටා... මම ඉන්නෙ මනෝ ලෝකේද?

අයියේ......ආකාශ් ගෙයින් එළියට ආවා....  

එදා සතිෂ් අයියා ගෙදරින් එළියට ආවෙත් මේ වගෙයි.... ආකාශ් අපි ටිකක් ඉමු...

ආකාශ් මයේ ඉස්සරාහින් වාඩිවුණා. තාත්තලා දෙන්නෙක් වුණත් සතිෂ් අයියගෙ හැඩරුව පොඩ්ඩක් ආකාශ්ට තිබුණා. එක බඩවැල කඩාගෙන ආව සහෝදරයෝනෙ. දැන් ආකාශ්ට සහෝදර කැක්කුම දැනෙනවා. අනේ මෙ හැගීම එදා ඔයාලට තිබුණනං අද මම කදුළු සිත්තම් වෙන්නෙ නැහැ ආකාශ්...

රෑ නමයට විතර ඇති.... ආකාශ් එක්ක මම මගෙත් සතිෂ් අයියගෙත් රාජධානියට ආවා.. ආකාශ් දොර අරිනවත් එක්කම මම දුවගෙන උඩ තට්ටුවට ආවා. මම ආවා මගෙ රත්තරනෙ...
ඔයාගේ දඩබ්බර සංජන අයෙත් ඔයාව බලන්න ආවා.
කෝ.... මගේ රත්තරං සතිෂ් අයියා කෝ....
අයියේ...........................
ඔයාගේ මල්ලි ඔයා ගාවට ආවා. අනේ එක පාරක් මට කතා කරන්න..
අනේ එනවකෝ....
මාව කෑ ගස්සනේ නැතුව...
නපුරා...
කොහෙ ගිහින්ද මන්දා....

මම කෑ ගහන ගමන් ඇඳ බදාගෙන ඇඬුවා. ආකාශ් උඩ තට්ටුවට ආවෙ නැහැ. සමහරවිට එයාට මගෙ දුක තේරෙන්න ඇති.

මම ඇඬුවා කෑ ගැහුවා. පපුවෙ හිරවෙලා තිබුණ දුක ඉවර වෙනකල් කියලා හිතලා මම කෑ ගැහුවා. දොරට තට්ටු කරන සද්දෙට මම හැරිලා බැලුවා. අයෙත් මතකය අතීතයට දුවගෙන ගියා....අනේ සතිෂ් අයියේ... දොර ඇරගෙන එකපාරම සතිෂ් අයියා ආවා... එදා වගේම අතේ තේ එකක්...

මොනවද පණ දාගෙන හොයන්නේ?‘ සතිෂ් අයියා කාමරයේ දොර ඇරගෙන ඇතුළට ආවා. තියෙන ඒවා නැති වෙලාද නිදාගෙන ඉද්දි?‘

කොහෙද මේ මම ඉන්නේ?‘ මම පුදුමයෙන් ඇහුවා. මම ඇදේ ඉද්දි මම වගේම කෙනෙක් සතිෂ් අයියා එක්ක රණ්ඩු වෙනවද?

මඩමකට ගෙනාවා විකුණලා කීයක් හරි ගන්න.සතිෂ් අයියා හදාගෙන ආව තේ එක මගේ අතට දෙන ගමන් කිව්වා.

මොනවද මනුස්සයෝ කියන්නේ? මම තේ කෝප්පේ පොළේ ගැහුවා.

සංජන...සතිෂ් අයියා මගේ අතින් අල්ල ගන්න හැදුවා.

මම හයියෙන් අත ගසා දාලා සතිෂ් අයියව තල්ලු කරා. සතිෂ් අයියා තල්ලු කරා. ඒත් එක්කම එයා බිත්තියේ වැදෙනවා මම දැක්කා. ඒත් එක්කම මම දොර ඇරගෙන පහළට බැස්සා. සතිෂ් අයියත් එයාගෙ පස්සෙන් පහළට බහිනවා. මම එක පාරම ඇදෙන් නැගිට්ටා. පහළට බහින්න හදද්දිම....

අයියේ....ආකාශ් සැටියෙන් නැගිටින ගමන් මට කතා කරා...

අනේ මගෙ සතිෂ් අයියා.......... මට කියවුණා... මමත් ආදරේ කරපු කෙනෙක්. වචන වලින් නොකිවීට, හැගීම් වලින් නොපෙන්නුවට මටත් හදවතක් තියෙනවා. හැමෝම මට දොස් කිව්වෙ.. මම ආදරේ කරන්න දන්නෙ නැහැ කියලා. ඇත්ත ඒක නෙමෙයි.. මම ආදරේ පෙන්වන්නෙ නැහැ. මගෙ ආදරේ දැක්කෙ සතිෂ් අයියා විතරයි. දැන් එයත් මාව දාලා ගිහින්... මම ඇඬුවා.. ආයෙත් පොඩි එකෙක් වගේ ඇඬුවා.. ඇස් දෙක රතු වෙනකල්ම ඇඬුවා.. ආකාශ් මාව තේරුම් අරගෙන වෙන්න ඕන. දුක තුනී වෙනකල්ම අඬන්න දුන්නා. පන්සලේදී, ඉස්පිරිතාලෙදී මම වාවගෙන හිටපු සේරම දේවල් මතක් කර කර මම ඇඬුවා... 

පැය දෙකක් විතර මම අඬන්න ඇති. හොදටම රෑ වෙලා...

ආකාශ්...මම මල්ලිට කතා කරා... ඔයා ගෙදර යන්න... අකමැත්තක් නැත්තම් මම අද රෑ මෙහෙ ඉන්නම්...

හොදයි අයියේ...මල්ලි ආයෙත් මම දිහා බැලුවා...

බයවෙන්න එපා ආකාශ්... මම අයෙත් කිසිම මෝඩ වැඩක් කරගන්නෙ නැහැ....

මම හෙට උදේම මෙහෙට එන්නම්...  ඒ ගමන්ම අපි හොස්පිටල් එකට යමු...

එහෙම කරමු...මමත් එක අනුමත කරා....

මට දොරේ යතුර ගලවලා දීලා ආකාශ් පිටත් වුණා.... පාලු ලෝකෙක මම තනිවුණා. දොර ලොක් කරගෙන මම මුළු ගේම ඇවිද්දා. සතිෂ් අයියාගෙ මතකයන් එකින් එක මට මතක් වුණා....

එදා ස්ටේෂන් එකෙදි මාව අරගෙන... මාතර බත් කඩෙන් කන්න අරන් දුන්න හැටි... මාත් එක්ක වොෂ් රූම් එකෙ නාපු හැටි... මාව හොයාගෙන අනුරාධපුර ආව හැටි... හෝටලේදි මාව බේරගත්ත හැටි... රුවන්වැලි සෑයට නෙළුම් මල් පූජා කරලා බාරේ ඔප්පු කරපු හැටි, දළදා මාළිගාවට, කතරගම, වෙහෙරහේන, ගංගාරාමේ, සත්තු වත්ත, ගොල්ෆෙස්..... ඇවිදපු හැම තැනම ආයේ ආයේ මතක් කරගෙන මම මගෙ සතිෂ් අයියාව මුළු ගේ පුරාම හෙව්වා. කකුල් දෙක රිදෙද්දි මම දණගෑවා.  උඩ තට්ටුවටත්, පහල තට්ටුවටත් මම ඇවිද්දා. මගෙ සතිෂ් අයියා හොයාගෙන මම මුළු ගේම ඇවිද්දා. අවසානෙදි මම සැටියේ වාඩිවුණා...

ඔයා කොහෙද අයියේ...? .‘ මම සැටියේ එහෙමම් ඇළ වුණා.... කදුළින් පිරුණු ඇස් අතරේ සතිෂ් අයියව තුරුළු කරගෙන මම හිටියා... මතක එකින් එකට හදවතේ හදපු අලුත් උණු කඳුළු කිසිම අනුකම්පාවක් නැතිව කොපුල් හරහා ගලාගෙන ගියා. නැ නැ මම අඬන්නේ නැහැ. ඔයාගෙ සංජන ඔයාට පොරොන්දු වුණානේ ආයෙත් කවදාවත් අඬන්නෙ නැහැ කියලා. මම දන්නවා මෙය රත්තරං මම ගාව ඉන්නවා කියලා. කවදාවත්ම මාව දාලා යන්නෙ නැහැ කියලා. ඉතින් තවත් මොකාටද මට එහෙම්ම නින්ද යන්න ඇති.


පිරුණු තරු අහස
කළුවරයි සද නැතිව
වැහි වලා පාව විත්
ගිගුම් දෙයි හෙණ හඩින්
දැනේ සීතල තවම
උණුසුමක් කොයිද තව
දෑල් දල්වන් සිටිමි
කවුළුවෙන් නෙත් පියන්
වාවන්නේ කොහොම මම
එක හිතින් නැතිව ඔබ
ආදරේයි හැමදාම
දග කළත් පෙර දාක
ජීවයයි ඔබ මාගේ
ලෝකයම වෙලා ගත්
තව වෙලා අද කෙලස
සිටිම්දෝ මා....
දුර මාවතේ ගිහින්
පිපාසිත වෙලා දැන්
කොයි මගේ ලොව අදත්
නොමැතිදෝ මා ළගින්
ඇවිත් මා ගෙන දෝතට
එකම එක හාදුවකින්
පපුවට මගෙ හිස තියාන
ඉන්න දෙනවද ටිකක්
ඇස් පියන් මත නටන
කදුළු බිංදුවක් අරන්
සිත්තම් කරන්නම් මම
නොපෙන්නුව මගෙ ආදරේ...
එත් දැන් සද නැහැනෙ
නැගෙන්නෙ නුබ කුසට
තනිවුණා සංසාරේ...
මගෙ රත්තරං අයියේ මා....
-----------------------------------------

(
ඔබට අවසන් කදුළත් අද කියවීමට අවැසිද මිතුරනි ?)

 පනස්වන සිත්තම (අවසන් කඳුළ)

අයියේ... සංජන අයියේ.....දොරට තට්ටු කරන සද්දෙට මට ඇහුරුණා... වෙලාව උදේ හතයි..ආකාශ් ඇවිත් වගෙ...

ඉන්න ආකාශ්...මට සැටියෙම නින්ද ගිහින්... ඇයි මම උඩ තට්ටුවට ගියේ නැත්තේ... කොයි මගෙ සතිෂ් අයියා... මම නැඟිටලා ගිහින් දොර ඇරියා... ආකාශ් වාහනෙන් භාජන වගයක් ගෙනත් කෑම මෙසෙ තිබ්බා...

අයියා ඊයේ රෑ ම ඇඬුවා නේද...?‘ මම වොෂ් රූම් එකට යන්න හදද්දි ආකාශ් ඇහුවා.. මම මුකුත් කිව්වෙ නැහැ... වොෂ් රූම් එකට ඇවිත් මම දත් මැදලා මූණ හෝදගත්තා. එතකොටයි දැක්කෙ මගෙ ඇස් හොඳටම ඉදිමිලා, රතුවෙලා කියලා. මම ඇඟ සෝදගෙන එළියට ආවා.

ආකාශ් කෑම ලෑස්ති කරලා මෙසේ... ඉදි ආප්ප...

ගෙදර උයන්න කවුරුත් නැහැ අයියේ...මම මෙසේ වාඩිවෙද්දි ආකාශ් කිව්වා...උදේටත් කඩෙන් ගෙනාවේ...

ආකාශ් කාලද?‘ මම ඇහුවා

තාම නැහැ....

මම පිඟානට ඉදියාප්ප පහක් විතර බෙදාගත්තා....

මට ඇති ආකාශ්... කන්න ඔයත්...

ඊයේ දවසටම අයියටත් හරියට කෑමක් නැහැ....

මට දැන් අතීතෙ අමතක කරන්න ඕන ආකාශ්...මම ඉදියාප්ප කන ගමන් කිව්වා... එන්න බෙදාගෙන කන්න...

ආකාශ් කෑම බෙදාගෙන සැටියෙ වාඩිවෙලා කෑවා. සතිෂ් අයිය මගෙ ගාව වාඩිවෙලා ඉන්නවා වගෙ මට දැණානා... ඉදියාප්ප උගුරෙ හිරවුණා. අයෙත් අඬන්න බැහැ මට... මම කන එක නතර කරලා ආයෙත් මූණ හොඳගෙන ආවා. ආකාශ් කාලා ඉවර වුණාට පස්සේ දෙන්නත් එක්කම හොස්පිටල් එකට ගියා.

මම කවදාවත් සතිෂ් අයියට මගෙ ආදරේ පෙන්නුවේ නැහැ. දැනෙන්න දුන්නෙ නැහැ. අද මම ගොඩක් විදවන්නෙ ඒක නිසාමයි.

රෝස මල් නෙලා ඇතිරූ සේද සයනයේ
ඔබත් එක්ක වැතිරුණු ඒ පාට සිහිනයේ
දේදුණු පාරේ පිණි මුතු විසුල විදීයේ
අතරමං කලේ ඇයි රන්වන් සමනළියේ...

තැන තැන නවතින හිතකට ආදර මන්දිර කුමකට
මේ ආ ගමනේ විඩාව දැණුනේ මගෙ තනි තටුවට
හඬන්න මට ඇස් දුන්නේ උදුරාගෙන මගෙ සතුට
ඔබ පිදුවේ නැත මා හට මා පිදු තරමට සෙනෙහස

රෝස මල් නෙළා ඇතිරූ සේද සයනයේ....

අප ආ ගිය නුවර වැවේ අද ඔහු සමඟින් යනවිට
දළදා මාළිගය හඬයි පිණි වැතිරුණු වැලි මළුවට
පෙම්පත් වල ලියු වදන් උඩු හුළගේ පාවෙන විට
මගෙන් නොලැබුණේ මොනවද කියන්න රත්තරනේ මට

රෝස මල් නෙළා ඇතිරූ සේද සයනයේ....

ගායනය- හේමන්ත වික‍්‍රමසිංහ මහතා

මොනවද මට නොලැබුණේ... හැමදෙයක්ම මට ලැබුණා අයියේ... හැමදෙයක්ම. අපි ආයෙත් හොස්පිට්ල් එකට ආවා.

අම්ම අයි.සි.යු එක ඉස්සරා පුටුවක වාඩිවෙලා හිටියා. එයත් හොඳටම හෙම්බත් වෙලා ඇත්තෙ... මම යද්දි නැඟිට හැදුවත් මම එපයි කිව්වා. ආකාශ් එක්ක එහෙම්ම මම ගියේ ඩොක්ටර් හම්බෙන්න... ඩොක්ටර් රිෆෝට්ස් වගයක් බල බල හිටියේ... මම එනවා දැකලා ඩොක්ටර් පුටුවෙන් නැඟිට්ටා...

මිස්ටර් සංජන...මම වාඩිවුණාට පස්සේ ඩොක්ටර් වාඩිවුණා.

කොහොමද ඩොක්ටර්....මම වාඩිවෙන ගමන් ඩොක්ටර්ගෙන් ඇහුවා. ආකාශ් මම ගාව හිටගෙන හිටියා...

රිපොර්ට්ස් සේරම ඔකෙ සංජන...

බලාපොරොත්තුවේ මලක් ආයෙත් පීදුණා. මට සතිෂ් අයියා වෙනුවෙන් මුකුත් කරන්න බැරි වුණා. එයාගෙ ණය ගෙවන්න තියෙන එකම විදිහ එයාගෙ පුතාගේ ජීවිතේ බේරන එක. එයාගෙ නෙමෙයි. අපේ පුතාගේ ජීවිතේ බේරන එක. ආකාශ් සැනසුම් සුසුම් හෙළුවා. එයා රූම් එකෙන් එළියට ගියේ ඒක අම්මට කියන්න වෙන්න ඇති.

කවදද ඔපරේෂන් එක පුළුවන්....මම ඩොක්ටර්ගෙන් ඇහුවා...

අනින්දා උදේට කරන්න පුළුවන්...ඩොක්ටර් කිව්වා. එදාට තමයි ඩොක්ටර්ලා මේක ප්ලෑන් කරන් ඉන්නෙ...

එහෙනම් ඩොක්ටර් ඒක ලෑස්ති කරන්න...මම පුටුවෙන් නැඟිට්න ගමන් කිව්වා...

ඒත්....ඩොක්ටර් අයෙත් මම දිහා බැලූවා...

ඇයි ඩොක්ටර්... මම ආයෙත් පුටුවේ වාඩිවුණා...

ඔයාගේ ඇඟ ඇතුළින් සමහර තැන් ටිකක් තුවාල වෙලයි තියෙන්නේ.... ඔපරේෂන් එකෙදිත් කැපුම් සිද්ද වෙන නිසා වැඩියෙන් ලේ වහනය වෙන්න පුළුවන්... ඒක ජිවිතේට අවදානමක්...

ඩොක්ටර්... මම අවදානම ගන්න ලෑස්තියි ඩොක්ටර්.. බය නැතුව ඔපරේෂන් එක ලෑස්ති කරන්න....

අපිට ජීවිතයක් නැති කරලා ජීවිතයක් බේරගන්න අයිතියක් නැහැ සංජන. අවේගට වැඩ කරන්න බැහැ...

මම කැමැත්තෙන් වකුගඩුව දෙන්නෙ ඩොක්ටර්... නිතියට අනුව මම ලියකියවිලි වලට අත්සන් කරන්නම්.... ඩොක්ටර් බය නැතුව ඔපරේෂන් එක ලෑස්ති කරන්න....

මම ආයෙත් ඩොක්ටර්ස්ල එක්ක කතා කරන්නම් සංජන...

මගේ ජීවිතේට වඩා මට ඒ පොඩි එකාගේ ජිවිතේ වටිනවා ඩොක්ටර්. අනික වකුගඩුවක් බද්ධ කරන එක එච්චර භයානක ඔපරේෂන් එකක් නෙමෙයිනෙ. මොකද මේ පළවෙනි පාර ද ලංකාවේ වකුගඩු බද්ධ කරන....මම එහෙම කියාගෙන එළියට ආවා.

අනේ බුදු බව අත්වෙනවා රත්තරං පුතේ...අම්මා මගෙ ගාව දණගහලා වැඳ වැටුණා... මම අත්දෙකෙන් අම්මව නැඟිට්ටුවා...

බය වෙන්න එපා අම්මේ... අනිද්දා උදේ ඔපරේෂන් එක කරන්න පුළුවන්... මම එතන තිබුණ පුටුවක වාඩිවෙන ගමන් කිව්වා.

සතිෂ් අයියා වෙනුවෙන් මට කරන්න පුළුවන් එකම දේ එයාගේ පුතා බලාගන්න එක. අම්මා මගෙ ගාවම ආයෙත් වාඩිවුණා. මට සතිෂ් අයියගෙ ආදරේ ඔප්පු කරන්න එපා. මම ඒක දන්නවා. ඔයාලා හැමෝටම වඩා ඒ ආදරේ දැණුනේ මට. ඒ හදවත දැක්කෙ මම. මගෙ පවුකාරකමටයි මම ඒ ආදරේ නැති කර ගත්තේ...

ළමයෙක් හදන්න සතිෂ් කීයටවත් කැමති වුණේ නැහැ... මගේ බලකිරීමටයි මේ හැමදෙයක්ම වුණේ... සතිෂ් ළමයා හැදුවෙත් පියවි සිහියෙන් නෙමෙයි. මම බලකරපු නිසයි සතිෂ්ගෙ වයිෆ් එයාව ඒකට නම්ම ගත්තේ. එකතු වෙලා දරුවා හදන්න අකමැති හින්දම නිසල පුතාව කතා කරගෙන නළ දරුවෙක් විදිහටයි ළමයව හැදුවේ. පුතා එක්ක තිබ්බ සම්බන්ධෙ ගැන සතිෂ්ගෙ වයිෆ්ට කවුද කියලා තිබුණා. සතිෂ් කසාදෙටත් කැමති නැති හින්දා වෙන සම්බන්ධයක් තියෙන්න ඇති කියලා එයා මුල ඉදලම සැකෙන් හිටියේ. කොහොම හරි මෙ දේ අහපු ගමන් එයා සතිෂ්ව ඩිවොස් කරා. සතිෂ්ව කොච්චර පිළිකුල් කරාද කියනවනං ළමයවත් එපා කිව්වා.

එයාලා අපි කවුරුත් වැරදි නැහැ අම්මෙ. මේ සමාජයයි වැරදි. මිනිස්සුන්ගේ ගාතානුගතික ආකල්පයි වැරදි. සංස්කෘතියේ තියෙන සිරිත් විරිත් වැරදි.... අපිට ඒවත් එකක් තරඟ කරන්න තාම ශක්තිය මදි අම්මෙ... ලෝකය වෙනස් වෙනවා. සිතුම් පැතුම් වෙනස් වෙනවා. කවදා හරි ලංකාවේ මිනිස්සුත් තේරුම් ගනිවී හැංඟි හැංඟි මේ කරන වැඩේ දවසක නිතියෙන්, සංස්කෘතියෙන් නිදහස් වෙලා වෙරළු මල් වලටත් පිපෙන්න පුළුවන් කියලා. එදා දවසට මයෙත් සතිෂ් අයියගෙත් කතාව එයාලට කියන්න පුළුවන්නම්...

අපි අතීතෙ කතා නතර කරමු අම්මෙ...මම තවත් හිත රිද්දව ගන්න කැමති වුණේ නැහැ. මම පුටුවෙන් නැඟිට්ටා...

ආකාශ්....මල්ලිට කතා කරා...

අයියේ...

ආකාශ්... අනින්දා පුතාව ඔපරේෂන් එකට ගන්නෙ... දැන් වෙලාව දහයයි... මාව කොටුව ස්ටේෂන් එකට ගිහින් දාන්න පුළුවන්ද?...‘

හදිසියේම ඇයි...

ආකාශ්... මම ගෙදර ගිහින් එන්න ඕන....

අනුරාධපුර...

ඔව්...

මේ දැන් ?....‘

කලබල වෙන්න දෙයක් නැහැ ආකාශ්... ඔපරේෂන් එකට කලින් මම ගෙදර ගිහින් එන්න ඕන. අද ගියාම මට හෙට උදේ කොච්චියේ ආයෙත් එන්න පුළුවන්...

ඉතින් මාත් එක්ක ගිහින් එමුකො...

ආකාශ් ... ඔයා ගිහින් බැහැ. මෙතෙන අම්මට ඉන්න ශක්තිය ඔයා විතරයි.. ඔයා ඉන්න ඕන...

එත්....

මම ගැන විශ්වාස කරන්න මල්ලි... මම හෙට එකොළහ වෙද්දි ආයෙත් කොළඹට එනවා...

මට අයියා ගැන අවිශ්වාසයක් නැහැ අයියේ...

මම එනකල් බලාගෙන ඉන්න ජීවිතයක් මෙහෙ තාමත් ඉන්නවා කියල මම දන්නවා ආකාශ්...

ආකාශ් මාව ස්ටේෂන් එකට ගෙනත් දැම්මා. මේ වෙලාවට අනුරාධපුරට කෝච්චි නැහැ. ඒක නිසා මම බස් එකකින් අනුරාධපුර ආවා. හවස හතර වගෙ වෙද්දි මම අනුරාධපුර. හතරාමාරට තියෙන බස් එකෙන් එහෙම්ම මම ගෙදර ආවා. අම්මට තාත්තට විතරක් නෙමෙයි... ගමේ හැමෝටම පුදුමයි මම ආයෙත් ගමට ආව එක ගැන.

ලොකු නංගි දැන් අම්මා කෙනෙක්.. ගෙට ටිකක් එහායින් එයාත් ගෙයක් හදාගෙන හිටියා. මල්ලිත් දැන් උසස් පෙළ කරනවා. එයාටත් ඕන ඩොක්ටර් කෙනෙක් වෙන්නලූ. මට කරන්න පුළුවන් දේවල් මම පවුල වෙනුවෙන් කරා. දැන් මට මාවත් අයිති නැහැ.

එදා රෑට  මම අවුරුදු ගාණකට පස්සෙ අම්මා හදලා කෑම වේලක් කෑවා. ඒ අම්මගෙ අතින්මයි. රෑ අම්ම, නංගි, මල්ලි එක්ක රුවන්වැලිසෑයට, උඩමළුවට ගියා... පහුවදා උදේ අම්මාගෙ අතින්ම බත් කටක් කාලා අම්මට තාත්තට වැඳලා මම මල්ලි එක ස්ටේෂන් එකට එන්න පිටත් වුණා.

‘මල්ලි මට විහඟලාගෙ ගෙදර ගිහිං එන්න ඕන....‘ මම මඟක් දුර ආවාම මල්ලිට කිව්වා. අපි වෙලට ගිහින් එමුද?‘
එහෙම්ම අතුරු පාරකින් දාලා මමත් මල්ලිත් වෙළට ආවා. මගෙ අනුමානෙ හරි. විහඟ වෙලෙ හිටියා.  

උදැල්ලත් තියාගෙන බෝක්කුව උඩ විහඟ වාඩි වෙලා.

‘විහඟ අයියා දැන් බැඳලා ඉන්නෙ අයියේ...‘ මල්ලි මට කිව්වා.

‘ඒක කොච්චර හොඳද? මල්ලි ඔයා මෙතන ඉන්න. ‘ මම බෑග් එක මල්ලිට දීලා විහඟ ඉන්න තැනට ගියා.

මම එන දිහා විහඟ බලාගෙන හිටියා. ඉස්සර මම දැක්ක සංසාර පුරුදු හිනාව තාමත් ඒ කටේ තියෙනවා. ඒත් දැන් අපි අපෙන් ගොඩක් දුර ගිහින් ඉවරයි.

‘කොහොමද මල්ලි....‘ මම විහඟට කතා කරා.

‘වරදක් නැහැ අයියේ...‘ විහඟ හිනා වෙලා උත්තර දුන්නා. ‘ කවද්ද ආවේ... ගොඩ දවසකින් නේද?‘

‘ඔව් අවුරුදු ගාණකින්....‘

‘අයියා කෝච්චියට පරක්කු වෙයි...‘ මල්ලි ඈත ඉදන් කෑ ගැහුවා.

‘අයියා ආයෙත් කොළඹ යන ගමන්ද?‘ විහඟ ඇහුවා.

‘ඔව් මල්ලි... ඔයාව බලලා යන්න හිතුණා...‘ මම හිනාවෙල කිව්වා. ‘මම ගිහිං එන්නං...‘

‘හොදයි අයියේ...‘ විහඟ හිනා වෙලා කිව්වා. ඉස්සර විහඟ යන එන දිහා පැය ගණන් එක දිගට බලාගෙන ඉන්න මම ඒ සංවාදෙන් විහඟට සමු දුන්නා. පුදුමාකාර වෙනසක්. මේ වෙල පුරාවට අපි දෙන්නගෙ කකුල් නොගැටුණු තැනක් නැතිව ඇති. මලිය ගහ පුරාවට අපි දෙන්නා සුව නොවිඳපු තැනක් නැතිව ඇති. විහඟගෙන් නිමා වුණු ඒ ආදරය රාගයට පෙරළිලා ආයෙත් සතිෂ් අයියා ගාව ආදරයක් වුණා. ඒක සංසාර පවකට අහිමි වෙලා ආයෙත් සතිෂ් අයියගෙ ආත්මයට පණ දෙන්න අවස්ථාවක් ඇවිල්ලා. මට කවදාවත් පුතෙක් හදන්න බැරි වුණත් ඒ දේ සතිෂ් අයියා  කරා. මේ වෙන කාගෙවත් පුතා නෙමෙයි අපි දෙන්නාගෙ පුතා. අසම්මත ලංකාවේ අපි දෙන්නා හදවතින් හදපු අපේ ආදරේ සංකේතය. අපි දෙන්නා නැති වුණත් ඒ ආදරය නැති වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ.

මල්ලි අනුරාධපුර ස්ටේෂන් එකෙට ගෙනත් දැම්මා. එන  ගමන් විහඟගෙ විස්තර මල්ලි කීවා. විභාග සේරම අවුල් කර ගත් විහඟ කොහො හරි රස්සාවකට ගිහින් තියෙනවා. එතනින් ගෙදර ඉදපු කෙල්ලෙක්ව අරගෙන පැනලා ඇවිත්. ඒයා කලින් බැඳලා හිටපු කෙනෙක්ලු. මල්ලි කියන විදිහට වඳ ගැණියක්ලු. ඇත්තටම මිනිස්සු ගෑණු පිරිමි කියලා නැහැ තවත් කෙනෙක්ගෙ  දුර්වල  තැනක් බලලා ඒක සියුම් විදිහට රිදවන්න පුදුම විදිහට දක්ෂයි. ඇයි සංස්කෘතිය කියලා පටු විදිහටම එහෙම කරන්නෙ. හැමදේම වෙන් ඕනි කෙනෙක් හදපු ඒ  සංස්කෘතියට විතරමයිද? සංස්කෘතිය හදපු මිනිස් හිතට ඒ සංස්කෘතිය වෙනස් කරන අයිතියක් නැද්ද? මල්ලිට අනුරාධපුර ස්ටෙෂන් එකෙන් සමු දුන්න මම කොච්චියට නැග්ගා අනුරාධපුරින්  හතට විතර නැඟ්ග මම  එකළොහ විතර වෙද්දි කොළඹට. මාව ගන්න ආකාශ් ස්ටේෂන් එකට ඇවිත් හිටියා...

ආකාශ් බය වුණාද මම නෑවිත් ඉදිවි කියලා....මම කාර් එකට නගින ගමන් ආකාශ්ගෙන් ඇහුවා...

නැහැ අයියේ... ඔයා ගැන අවිශ්වාසයක් නැහැ. මට මගෙ හිතෙ තිබුණ අවිශ්වාසෙ දැන් නැති වෙල තියෙන්නෙ...

අපිට සංසාර පුරුදු වෙනස් කරන්න බැහැ ආකාශ්...

අයියේ....ආකාශ්ගෙ හඩෙහි ආයාචනාත්මක හැගීමක් තිබුණා...

මම ආකාශ් දිහා බැලූවා...

මමත්....

අකාශ්ට කියන්න දෙයක් තියෙනව වගෙ. එයා කියන්න යන දේ මට තේරුණා. අසම්මත තවත් පෙම්වතෙක්...

‘ ඔයාලව ඒ වෙද්දි මට තේරුම් ගන්න පුළුවන් වුණානං කියලා දැන් මගෙ හිත මට ගොඩක් වද දෙනවා අයියෙ. ඔයලා ගැන මම  හිතුවේ හරිම වැරදි විදිහට. මට ඒකට කවදාවත් සමාවක් ලැබෙන එකක් නැ අයියෙ.‘

මගේ පුදුම වුණේ නැහැ. මම සුපුරුදු හිනාවෙන් හිටියා... මම වාහනේ කණ්ණාඩියේ ඉස්සරා බලාගෙන ඉන්නවා මිසක් මොකවත්ම කිව්වෙ නැහැ...

මටත් දැන් ආදරේ කරන... මමත් දැන් ආදරේ කරන කෙනෙක් ඉන්නවා අයියේ... ඒ තමයි නිසල අයියා....
අන්න ඒ පාරටනම් මට ආකාශ් දිහා බලාගෙන ඉන්න බැරිවුණා.

ඩොක්ටර් නිසල...මම ඇහුවා...

ඔව් අයියේ.... අපි දෙන්නා ගොඩක් සන්තෝෂෙන් ඉන්නෙ දැන්... අම්මා මේක තාම දන්නෙ නැහැ. නිසල අයියා මැලේෂියා ගියා මාසෙකට. අද රෑ ලංකාවට එනවා එයා..

මට සතුටුයි මල්ලි... මම කිව්වා.

මට නිසල අයියාගෙ ආදරෙ දැනෙද්දියි තේරුණේ ඔයාගෙයි, අයියගෙයි ආදරෙ කොයි තරම් උසස්ද කියලා. මටත් ඒ දවස්වල ආවේගෙට වැඩ කරා මිසක් කිසිම දෙයක් හොයලා බැලූවේ නැහැ.

ඇයි මේ හැමකෙනාටම කියන දේ තෙරෙන්නෙ නැත්තෙ... ඇයි විටින් විට අතීතෙම කියලා මගෙ හිත පාරන්නෙ.. මම ගලක්ද? මම මැරිලා ඉපදීලාද? මට ඒ කිසිම දෙයක් අමතක වෙලා නැහැ. මම හැමදෙයක්ම දන්නවා. සතිෂ් අයියගෙන් වෙන් වෙලා හිටියත් මම තාමත් සංජන... සතිෂ් අයියගෙ සංජන.. කායික සම්බන්ධකට එහා ගියපු ආත්මීය බැදීමක් අපි දෙන්නට තිබුණා දෙයියනේ.. මට රිද්දන්න එපා.. විටින් විට මගෙයි සතිෂ් අයියගෙයි ආදරේ මතක් කරන්න එපා....

එන ගමන් දවල්ට කඩේකින් අපි කෑම ගත්තා.... මම හිතන්නේ මම අදම ඇඩ්මිට් වෙන්න ඕන. ඒක නිසා ගෙදර ඇවිත් නාලා ඇදුම් කරගෙන ආකාශ් එක්ක හොස්පිට්ල් එකට ආවා. එහෙම්ම මම ඩොක්ටර් ගියේ ඩොක්ටර් මීට් වෙන්න....

තවත් ඩොක්ටර්ලා දෙන්නෙක් එතන හිටියා...

මම එද්දි තුන්දෙනාම නැඟිට්ටා... මම හිනාවෙලා ඩොක්ටර් ඉස්සරා තිබුණ පුටුවේ වාඩිවුණා.

ලියකියවිලි ටික හරිද ඩොක්ටර්...මම ඩොක්ටර්ගෙන් ඇහුවා...

හරි සංජන... අපි මේ ඔපරේෂන් එක කරන්න තවත් ඩොක්ටර් කෙනෙක්ටත් හෙට උදේ එන්න කිව්වා... එයා විශේෂඥ කෙනෙක්...

කවුරු වුණත් කමක් නැහැ ඩොක්ටර්... ඉක්මනින් ළමයාගේ ජීවිතේ බේරගන්න බලමු..

ඔයා අද මෙහෙ නවතින්න වෙනවා.තවත් ඩොක්ටර් කෙනෙක් කිව්වා. අපි සේරම සැලසුම් කරලා තියෙන්නෙ...

ඒත් අර අවදානම තවම තියෙනවා සංජන...

කෝ මට ඒ ලියකියවිලි ටික දෙන්න ඩොක්ටර්...මම ඩොක්ටර්ට කිව්වා.

සේරම කඩුවෙන් තිබුණේ කෙටියෙන්ම කිව්වොත් මම මේ ඔපරේෂන් එක ගැන මනා අවබෝධයකින් ඉන්න බවත්, මෙහි ඇති අවදානම වෛද්‍යවරු මට පැහැදිලි කර ඇති බවත්, යම් හෙයකින් ඔපරේෂන් එකෙදී හෝ ඔපරේෂන් එකෙන් පසුව ඩොකටර්ස්ලගේ වරදකින් තොරව ජීවිත අවදානමක් ඇති වුණොත් ඩොක්ටර්ස්ලයි, කාර්යය මණ්ඩලයයි වගකීමෙන් නිදහස් වෙන බවත්, මේ ඔපරේෂන් එක කාගෙවත් බලපෑමකට හෝ බියවැද්දීමකට හෝ මුදලකට යටත්ව සිදු නොකරන බවටත් සහතික වෙමි කියලයි.

මගේ අයිඩෙන්ටි කාඩ් එක අරගෙන ඩොක්ටර් ඇප්ලිකේෂන් එක පිරෙව්වා. අම්මට කතා කරා. ආකාශ් අම්මා එක්ක ඇතුළට ආවා.

පුතාගේ නම මොකද්ද?‘ ඩොක්ටර් අම්මගෙන් ඇහුවා.... අම්මා මගෙ මූණ දිහා බැලූවා. ආකාශ් ඩොක්ටර්ට ඇහෙන්න පුතාගේ නම කිව්වා.

සංජන කෙනෙත් බංඩාර..

අනේ මගේ සතිෂ් අයියේ.... මම තවත් මොනවා කියන්නද ඔයාට. මම ඔයා ගාව හැමදාම ඔයා තියාගත්තා නේද අයියේ...

ඩොක්ටර් මගේ දිවුරුම් ප‍්‍රකාශය හැමෝටම ඇහෙන්න කියෙව්වා. අම්මත්, මල්ලිත් ඒක අහගෙන හිටියේ කඳුළු වලට නිදහසේ ගලාගෙන යන්න ඉඩදීලා. සේරම අත්සන් කරාට පස්සේ මාව අයි.සී.යු එකේම වෙනත් පැත්තකට අරන් ගියා. ඔලූවට මොකද්ද දාලා මගේ සම්පූර්ණ සිරුර ස්කෑන් කරන්න මැෂින් එක ඇතුළට දැම්මා. එහා පැත්තෙ ඉදලා ඩොක්ටර්ස්ලා කතා කරනවා. සමහරවිට වකුගඩුවෙ පිහිටීම බලනවා ඇති. කවදාහරි දවසක වකුගඩුවක් ජීවත්වෙලා ඉද්දිම දන් දෙනවා කියන අදහසමට තිබුණා. දැන් ඒ පැතුමත් හරියාගෙන එන්නෙ. මට තවත් සාර්ථක කරගන්න දේවල් නැහැනේ... ආදරේ හෙව්වා. ජීවිතේ හෙව්වා... දෙකම හමුවුණා... ඔපරේෂන් එකට ඉන්න නිසා මට ? ඉදලා සේලයින් දුන්නා. කන්න බොන්න දුන්නෙ නැහැ.

සංජන කිසිම දේකට බයවෙන්න එපා‘ ? මයේ ගාවට ආව ඩොක්ටර් කෙනෙක් මට කතා කරා... මම ඔපරේෂන් එක ඉවරවෙනකල් ඔයා එක්ක ඉන්නවා...

කවුද මේ තරම් මාව දිරිමත් කරන්නෙ...

කවුද මේ...මම ඇහුවා...

මම නිසල...

අහ් නිසල අයියා... දැන් ටිකක් වෙනස් වෙලා.. පොඩියට හිටපු කොල්ලා දැන් උස මහත් වෙලා. සුදු වෙලා...

ළමයාව කොහොම හරි සනීප කරන්න නිසල අයියේ.. ඒක තමයි මගේ අවසාන ඉල්ලීම. මට මොනවා වුණත් කමක් නැහැ. මගෙ අවසාන කැමැත්ත මම ආකාශ්ට දීල තියෙනවා. මට කරදරයක් වුණොත්...

නිසල අයියා මගෙ කට අතින් වැහුවා...

නැ මල්ලි... එහෙම කිසිම දෙයක් වෙන්නෙ නැහැ... මම ඉන්නවා... හෙට උදේම ඔපරේෂන් එකට ගනිවි....

ඔව් ඩොක්ටර් මට කිව්වා....

සංජන....

හ්ම්....

මේක මේ වෙලාවෙ දෙන්න හොඳද දන්නෙ නැහැ...

මොකද්ද අයියේ....

නිසල අයියා සාක්කුවෙන් ලියුමක් අතට ගත්තා. ඒක කවරෙක දාලා සීල් කරලා වගෙයි තිබුණේ...

මේක සතිෂ් රට යන්න කලින් මට දුන්නෙ... කවදා හරි ඔයා ආපහු ආවොත් ඔයාට මේක දෙන්න කිව්වා...

නිසල අයියා මගෙ අතට ලියුම දුන්නා...

මම කවදාවත් හිතුවෙ නැහැ සතිෂ් අපිව දාලා යයි කියලා.... සංජන මම ටිකක් එළියෙන් ඉන්නම්...

මට නිදහසේ ලියුම කියවන්න දීලා නිසල අයියා එළියට ගියා..

නිසල අයියා ලියුම දැන්ම දෙන්න ඇත්තෙ සතිෂ් අයියගෙ ඉල්ලීම ඉෂ්ට කරන්න වෙන්න ඇති. මම ලියමු කඩලා ඇඳේ කොට්ටෙ හදලා ඒකට හේත්තු වුණා... සතිෂ් අයියාගෙ රවුම් අකුරු මැදින් එයාගෙ මුහුණ මැවිලා පෙන්න ගත්තා...

මයේ රත්තරං.....

හෙට මම තවත් එක් සමලිංගිකයෙකු සේ ලෝකයා රවටන්නට කාන්තාවක සමඟ පෝරුවට නගින්නෙමි. මගෙ හදවත් පෝරුවට නැඟ්ග එකම එක ආදරය ඔබ පමණි. ලෝකයාට පේන්න පතිවත රකින නූගත් මිනිසුන් ඉදිරියේ ඔබෙත් මගෙත් ආදරය විහිලූවක් විය. අසරණ විය.

ඔබ දිවි දෙවැනි කොට මට පෙම් කළ බව මම දනිමි. එය මට දැණිනි. යලි කෙදිනක ඔබ මා හමුවේදැයි මම නොදනිමි. එබැවින් මා සිතින් නිදහස් කොට ගත යුතු කාරණා කිහිපයක් තිබේ. යම් දිනයක ඔබට මේ සියල්ල හමුවී කීමට නොහැකි වුවහොත් මෙම ලිපිය ඔබ අතට පත්වනු ඇත. ඔබට හැකියාවක් ඇත්නම් මට සමාව දෙනු මැනවි. මා පිළිබදව බොහෝ දෙනා ඔබට තතු කී බව ඔබ නොයෙක් වර මා වෙතින් පවසා සිටියේය. නමුත් එවැනි අවස්ථාවලදී ඔබට ඔවුනට දුන් පිළිතුරු පිළිබදව මම සිතින් සිය දහස් වර තැවුණෙමි.

ආකාශ් ඔබට මෙතරම් වෛර කරන්නට හේතුවක් ඇත. ඒ ඔහු මාගේ සොහොයුරා පමණක් වූ නිසා නොවේ. ඔබට පෙර මාගේ ලිංගික සහකරුවාද ඔහු වීම එයට හේතුවයි. සහෝදරයින් ලෙස අප අසම්මත ලිංගික සතුටෙහි නිරත විය. නමුත් එය හදවතෙහි උපන් ආදරයක් නොවේ. හුදෙක් කායික සතුට සදහා පමණක්ම සිදුකල කාර්යයක් පමණි. ඔබ හමු වූ දා සිට ඔබත් මමත් පෙමින් සිටිනු දුටු ඔහු කෝපාවිෂ්ටව ඔබ මාගෙන් වෙන් කරනු පිණිස සැලසුම් සැකසීය. මන්ද යත් ඔබෙන් පසු මා ආකාශ් කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකිරීමට එයට හේතුව වූ නිසාවෙනි. නමුත් ඔබගේ ආදරය වෙනුවෙන් ඔහු විවිධ අවස්ථාවල සැනසීමට මට සිදුවිය. ඔවුහු දිනුම ලදහ. මා කෙරෙහි විශ්වාසය තබා ජීවිතය විදින්නට ආ ඔබ අසරණ විය.

විවහා ජීවිතයකට ඇතුළත් වීම කිසිදු දිනක මා අපේක්ෂා කළ දෙයක් නොවේ. කාන්තාවක සමඟ එකට සිටීම මට පිළිකුලක් ගෙන දෙයි. මා ඔබ කෙරෙන් ලද්දේ හුදෙක් කායික සතුට පමණක් නොවේ. ඔබ තුළින් මම ජීවිතය දුටුවෙමි. ඔබ හමු වූ දා සිට මා ජීවත් කළේ ඔබගේ මුවඟ රැදුණ සිනාවයි. මා දමා ගිය පසු නැවතත් ඔබ සොයා අනුරාධපුර පැමිණියේ එකි සිනාව නොදැක මට ජීවත් විය නොහැකි නිසාවෙනි.

වසර තුනක කාලයක් පුරා මා ඔබෙන් ලද සියල්ලට මා ණය ගැතිය. මවකගේ සෙනෙහස හා ඔබගේ ආදරය අතර මා සිර විය. ආදරය උත්තරීතර බව රැකගනු පිණිස ඔබ මා මවට භාරදෙන ලදී. ඔවුහු මා ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට ලක් කළහ. ඔබට මා කළ වංචාවට දඩුවම් එයැයි සිතා මම සිත හදා ගත්තෙමි.

හෙටින් පසුව උදාවෙන දිනය පිළිබදව මාගේ කිසිදු අවබෝධයක් නැත. මා දැන් සියල්ලන්ගේම රූකඩයක් බවට පත්ව තිබේ. මෙම ලිපිය ඔබ ලද හොත් මට වෛර නොකරනු මැනවි. ඔබට මා තුළ වූ ආදරයක හදවතෙහි උපන් එකකි. කිසිදු විටක ඔබගෙන් කායික සතුටක් පමණක් මම බලාපොරොත්තු නොවුණමි. ඔබ මා ළග තබාගෙන මගේ ඕනෑ එපාකම් පිරිමසා ගන්නට තරම් මම පහත් වූ බව කියමින් යටි සිත නිතර මට වද දෙයි. නොයෙක් වර ඔබට මෙය කියා හිත නිදහස් කර ගන්නට සිතුණද ඔබෙන් ලද ආදරය නොලැබේවියැයි මම බිය වුණෙමි.

මා දෙවනුව ආදරය කළේ නුඹටයි. නමුත් නුඹ බොහෝ දෙනා වෙතින් පීඩාවට ලක් වූ බව මම දනිමි. මා ද ඔබට වංචාවක් කළ බව හැගුණෝතින් ඔබ අපේක්ෂාභංගත්වයට පත්වනු නිසැකය. ඔබ දිවිතොර ගැනීමේ අරමුණ මෙපුවත දැන ගැනීමදෝ මම සැක පළ කළෙමි. නමුත් ආකාශ් තවදුරටත් අපගේ සම්බන්ධය සඟවා සිටිම පැවසූ නිසා මම සැනසුනෙමි.

ඔබ රෝහලින් පැමිණි දිනයේ මා ආකාශ් හමුවී මේ බව කතා කෙරුවෙමි. ඔහු ඒ වනවිටත් මව සමඟ එක්වී මාගෙ විවාහය සුදානම් කොට හමාරය. ඒ සියල්ල මම දැන සිටියෙමි. නමුත් ඔබ හා වෙනත් රටකට යෑමට මට අවැසි විය. මවකගෙ ජීවිතයේ වගකීම දැරීමට ඔබටත් මටත් නොහැකිය. අප දෙදෙනාම අසරණ වූ එකම තැන එයයි. නොදන්නා යුවතියක් සමඟ යහන් ගතව තවත් අඳුරු පරම්පරාවක් බිහි කිරීමට මට නොහැකිය. එසේ වුවහොත් යලිත් බිහිවනුයේ ඔබ හා මා පමණක් බව මතක තබාගන්න. මෙම ආත්මයේදී අප අපට අයිති නොවුණහොත් එය මතු භවයක සිදුවනු නොඅනුමානය.

මම තවමත් ඔබට එදා තිබු ආදරයේ අඩුවක් නැත. අවස්ථාව ලද සැනින් මා මෙම සිර ගෙයින් නිදහස් වී ඔබ සොයා එන්නෙමි. ඉනික්බිති අපටම වූ ලොවක් වෙත ඔබ ගෙන යන්නෙමි. මා හට දීමට ඔබ ළග සමාව ඇති බව මම දනිමි. මා වෙනුවෙන් මොහොතක් ඉදිනු මැන...
ඔබේ ආදර...

-
සතිෂ්-

වෙනදාට වඩා ඒ රැය ගොඩක් දිගයි කියලා මට හිතුණා. මම ලියුම පපුවට තුරුළු කර ගත්තා. එකකට එකක් නැගෙන සිතුවිලි මට නින්ද ගෙනාවේ නැහැ. පාන්දර යාමේ වෙද්දි මට නින්ද ගිහින් තිබුණා. උදේ ඩොක්ටර් ඇවිත් මට කතා කරා. ඔපරේෂන් එකට ගන්න මාව ලෑස්ති කරන්න ඕනලූ.

මෙල් නර්ස්ලා ඇවිත් මට ඔපරේෂන් එකට සුදුසු ඇදුමක් ඇන්දුවා. මගෙ හිතට පුදුම ශක්තියක් ආවා. මට නොපෙණුනාට මගෙ ගාව කවුරු හරි ඉන්නවා කියල මට හොඳටම දැණුනා. නිසල අයියත් ඩොක්ටර්ස්ල එක්ක මගෙ ගාවට ආවා. මම ලියුම එයාට දුන්නා.

අයියේ මේ ලියුම පුච්චන්න... කාගෙවත් අතකට යන්න තියන්න එපා...මම නිසල අයියට කිව්වා. නිසල අයියා ඔලූව වනලා ඒක පිළිගත්තා.

මාව ටොලියෙන් එහා පැත්තට ගෙනිච්චිචා. එහා පැත්තෙන් සංජන නිදාගෙන ඉන්නවා. මෙහා පැත්තෙත් සංජන.... මගෙ රත්තරං සතිෂ් අයියගේ එකම සාක්ෂිය. සතිෂ් අයියා ගැන මගෙ හිතේ තියෙන ආදරේ අඩුවක් නැහැ. ආදරයයි, ආදරේ සංකේතයි එකම බලාපොරොත්තුවක් වෙනුවෙන් ජීවිත සටනක... මටත් දැන් හිස්වැසුමක් දැලා. ඩොක්ටර්ස්ලත් ලෑස්තිවෙලා රූම් එකට ආවා. වීදුරුවෙන් එහා පැත්තෙ අම්මයි, ආකාශ් එක්ක බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා මම දැක්කා. ඩොක්ටර්ස්ලා අඳුරගන්න බැහැ සේරම මුණත් ආවරණය කරගෙන ඉන්න නිසා...

එහෙනං අපි පටන් ගන්නද සංජන... තවත් ඩොක්ටර් මගෙන් ඇහුවා...

මම ඔලූව හොල්ලලා ඇස් දෙක පියාගන්න ගමන් ඒක අනුමත කරා. නාසයට මොකද්ද තියන ගමන් මගෙ ඇඟ පණ නැති වේගය යනවා මට දැණුනා. මෙතනින් එහාට මම කොහොමද ලියන්නේ ඉතින්....

(
ආයෙත් ටිකක් මුල මතක් කරමුද අපි....

සියල්ලෝම නිවැරදි වුයේ කෙසේද? වැරදිකරුවා මා පමණක් වී ඇත. කියන්නා වූ දහසක් රිදුම් දෙන වදන් සවනත කණිනු ඇත. එසේත් කම් නැත. මන්ද යත් සිදුවුයේ කුමක්දැයි මා මෙන් ඔවුන්ද දන්නා නිසාවෙනි. කිසිවෙකුට හෝ බොරුකාරයෙකු, වංචාකාරයෙකු වීමට මට අවශ්යනතාවයක් නොමැත. මන්ද යත් ජීවත් වන කාලය සෙමින් නිමාවෙමින් පවතින නිසාවෙනි. අහසෙහි පියසලන පුංචි ගේ කුරුල්ලෙකු සේ මාගේ නිදහස් හුස්ම පොද සොබාදහමට එක්වන තුරු මා සතුටින් කාලය ගත කරමි....

එය කිසිවිටක් කරුමය හෝ උරුමය ලෙස මා සලකන්නේ නැත. කාලය ගත වනු ඇත. සියල්ල හොදින් විසදෙනු ඇත. කල යුත්තේ අවස්ථානෝචිතව කල්පනාවෙන් මුහුණ දීම පමණි. මුහුණු පොතෙහි ඇදි සිත්තම් මෙහි පළවෙනු ඇත. එය කඳුළුගේ ලෝකයයි. නමුත් දැන් කඳුළු ඒ ලෝකයට හිමි නොවන බව මතක තබාගනන්න. - කඳුළු සිත්තම් ආරම්භය)

අටවන වේදිකාවට පැමිණියේ අනුරාධුර සිට පැමිණෙන රජරට රැජින දුම්රියයි... මෙම දුම්රිය කොළඹ කොටුවට පමණි....

මම ස්ටේෂන් එකෙන් බැස්සා. හ්ම්.... කොයි මගේ පස්සෙන් ආපු එකා.... හිහිහි මේ පාර ඌ නෑනෙ. කොටුවෙ සෙනග ගොඩ. ඒත් මම මිනිස්සු මැද්දෙන් ගියා. පුදුමේ කියන්නෙ ටිකට් බැලූවෙත් නැහැ. ස්ටේෂන් එකෙන් එළියට එද්දිම මෙන්න බොලේ කාර් එක ආවා....

ඔයාද සංජන?‘ දොර අරින ගමන් සුදු හැන්ඩ්සම් කොල්ලෙක් ඇහුවා. දන්නවනෙ ඉතින් මේ හැන්ඩ්සම් සුදු කොල්ලා කවුද කියලා නේද?

මම ලාවට හිනාවක් දාලා

ඔව්.... ඇයි?....‘ පිස්සු පිස්සු.. දන්නෙ නැහැ වගේ අහන්නේ...

නගින්නදොර අරින ගමන් සතිෂ් අයියා කීවා. ආඩම්බරකම් නං තාම අඩුවෙලා නැ.

අනේ මේ....මමත් ඉස්සරා ෂීට් එකෙ වාඩුවුණා.

මම හිතුවෙ නැහැ ආයෙත් ඔයාව දකින්න හම්බෙයි කියලා...

හරි හරි දැන් දැක්කනේමමත් හින්ට් එකක් පාස් කරා. වාහනය පාරට දාලා මම දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. පාර බලාගෙන වාහනය එළවන්න , නැත්තම් මට අපි දෙන්නම පරලොව යාවි

ඉතින් ආස නැද්ද මාත් එකක් පරලොව යන්නමම දිහා බලාගෙන ආයෙත් සතිෂ් අයියා ඇහුවා.

අනේ මේ...මම ගොඩයා කියන්නේ නිකං ඇයි. හාහාහාහ මට කොහොමත් මැනස් නැනේ. මට තව කාලයක් ජීවත් වෙන්න ඕන. දැන්ම අපායේ ගිහින් බැහැ.

සතිෂ් අයියා කාර් එක නතර කරා.. මොකටද මේ පාර මැද කාර් එක නතර කරේ... අයියෝ........ මෙන්න මෙයා බහිනවා... අහ් අවුලක් නැහැ අවුලක් නැහැ. අපේ කාර් එක මැදින් අනිත් වාහන වලට යන්න පුළුවන්... සතිෂ් අයියා එහා පැත්තෙන් ඇවිත් දොර ඇරියා...

බහින්නකෝ සර්...වල ගැහුණු කම්බුලින් හිනාවෙලා මට කිව්වා...

හච්... සර්...මම කිව්වා සර් කිව්වොත් බහින්නෙ නැහැ...

අනේ මුරණ්ඩු කොල්ලා.... එහෙනං මොකද්ද කියන්නෙ...එක පාරම ලොකු බස් එකක් සතිෂ් අයියා මැදින් ගියා.... මම හයියෙන් කෑ ගැහුවා....

කෑ ගහන්න එපා මැට්ටෝ.... මම හැප්පෙන්නෙ නැහැ...

අහ් ඒක මිසක්.... දැන් බහින්නෙ නැද්ද?....‘

නැහැ

එහෙනං කාර් එකට වෙලා ඉන්න ... මම යනවා....සතිෂ් අයියා එහා පැත්ත හැරුණා...

කොහෙද යන්නේ....?‘

අර ඈත පේන වළාකුලින් එහාට තියෙන සුන්දර, ලස්සන ලෝකෙට මම යනවා...

ඉතින් මාව එක්ක යන්නෙ නැද්ද එහාට....

මොකද රත්තරං නැත්තේ...

එහෙනං බෑ කිව්වේ දැන්...

සොරි පැටියෝ... ඒ විහිලූවටනේ....

සතිෂ් අයියා දොර ඇරලා මාව එළියට ගත්තා... මාව අත්දෙකට වඩාගෙන නළලට හාදුවක් දුන්නා. මම අත් දෙක සතිෂ් අයියගෙ කරට දාලා පපුවට තුරුල් වුණා. සීතල වෙලා තිබුණ මගේ පපුවට ආයෙත් උණුසමක්... ඒත් ඒක දැණුනෙ හිතට විතරයි...

සේද වියන් මැද
දුහුල් වළාකුලෙහි
පිරුවට ඇඳගෙන
තවමත් ඉන්නේ
මදහස නන්වන්
මා දෙස බලමින්
කුමකට ඔච්චම්
කරමිද මෙතරම්
බලනු හැර දෙනෙත්
පාර සදයි තාරකාවන්
දිගුකරනු මැන දෑත්
තුරුළට ගෙන මා..
උණුසුම් කරමින්
සිපගනු නැවතත්
ආදරයෙන් කැඩපත
හැමදාමත් නුඹයි...
එක් වරක් මා ජීවිතයේ ලද
නොහිම් සෙනෙහෙ වර්ෂාව
නිවා හළ වගයි ගිම්මානය
යළි වැඩියේය වසන්තය....
එකම එක හාදුවකින්
ඔව්....
එකම එක හාදුවකින්
ජීවිතය ලැබ දෙන්නට
තුරුලූ කරගනු මැනවි
උණුසුම් පපු තුරුලට මා
හදවතෙහි ගෙත්තම් වූ
මා වෙනුවෙන් උපන්
ඔබේ සුපෙම් ලොව
යලි යලිත් ලබන්නට
පිං කළ වගයි මා...
එක් සැනයකින්
වෙනස් කළ අපේ ලෝකය
නැවතත් ඔබ මා එක්කොට
අරුණලූ නන්වයි...
සියොත් ගීයෙන් ඇසේද පණිවුඩ
ඒ වසන්තයි....
ඔව්....
ඒ වසන්තයි...ඔබෙත් මගෙත් ලෝකයට වැඩි
වසන්තයි...මේ නිමා වන්නේ
මෙතෙක් කළ සිත්තමයි....
අසම්මත ආදරයක අවසානය
කදුළින් කළ සිත්තමයි...
ඔව් එය...
ජීවිතයටම ජීවත් කළ
ආදරයේ කඳුළු සිත්තමයි...


සංජනගේ අවසන් කැමැත්ත....

ජීවිතය සමස්ථය නොදුටුවෙමි.. නමුත් එහි යම් යම් දෑ වටහා ගත්තෙමි. උකහා ගත්තෙමි. තවත් නවුම් ජීවිතයට ජීවයක් එක් කිරීමට ලැබීම සතුටට කරුණකි.. මා උපයාගත් භෞතික ධනයක් නොමැත.

මා මියගිය බව මගේ දෙමව්පියනට දන්වන්න. සොයුරියටත්, සොහොයුරාටත් දන්වන්න. ඔවුන් බලාපොරොත්තු වූ පරිදි උතුම් පුතෙකු වන්නටත්, සදාදර සොයුරෙකු වන්නටත් නොහැකිවීම ගැන මා සමාව ඉල්ලා සිටි බව කියන්න. මා ගැන තතු විමසන කිසිවෙක් හෝ සිටීනම් ඔවුනටද මා මියගිය පුවත සැල කරන්න. කාලයට ඉහත මා වෙනුවෙන් බොහෝ දෑ කැප කළ පිරිස් බොහෝමයක් සිටී. කායික තෘප්තියට අමතරව මාගේ මානසික තෘප්තිය වෙනුවෙන් ඔවුහු පෙනී සිටියහ. එබැවින් මාගෙ කෘතඥතාවය ඔවුනට පුදකර සිටිය බව කියන්න. වෙනත් හැර යා නොහැකි කිසිවෙක් මා හට නොසිටියේ ය.

දේහය පොරොන්දු වූ පරිදි අක්ෂිදාන සංගමය වෙත භාර දෙන්න. ඔවුනට අනවශ්‍ය යැයි එකදු හෝ කොටසක් තිබේනම් එය සතිෂ් අයියාගේ සොහොන් කොතෙහි මා වෙනුවෙන් තැම්පත් කරන්න. ඔහුගෙත් මගෙත් අසම්මත ආදරය තව දුරටත් ලෝකයාට රහසක් විය යුතු නැත. සමලිංගික ආදරයක් වෙනුවෙන් දුක් විදි පළමු හා අවසාන යුවල අපි නොවනු ඇත. හෙට තවත් යුවලකට මෙම ඉරණම අත් වනු ඇත. නමුත් ඔබට හැකිනම් මෙවන් ආදරයක් වෙනුවෙන් කළ හැකි දෙයක් කරන්න.

පුතුට මා සුබ පැතුම් එක් කරමි... මගෙත් සතිෂ් අයියගෙත් ආදර ලෝකය වෙනුවෙන් පෙනී සිටින එකම ජීවමාන සාක්ෂිය ඔහු පමණි. ආකාශ් හා නිසල අයියා ඔහු රැකබලා ගනු බව මම තරයේ විශ්වාස කරමි. කිසිවිටකත් මා ගැන හෝ සතිෂ් අයියා ගැන මතකයක් ඔහු වෙනුවෙන් ඉතිරි නොකරන්න. මන්ද යත් අසම්මත ආදරයක වේදනාව කිසිවිටකත් ඔහු විසින් විදිය යුතු නොවන්නේ ය....

ඔබ සැමට...
තෙරුවන් සරණයි....

--------------------------------------
නිමි---------------------------------
මල් පිපුණ වට්ටිය ගෙන තියා
ඔබ දෑත් අල්ලන් දුර ගියා
බිම වැටුණු මල් පොඩි විසිකරා
බුදු සාදු ළගදී හිනහුණා....

මගේ අතට දී මල් දෝත දෝත
පිය දෙනෙත් මුමුණා දොතොල
පැතු කුමක්දෝ රහසින් මුමුණ
දැන ගන්න සිතක් කොයිදෝ මට...

බෝ මළුවේ ඉදගෙන මෙත් වඩා
බෝ කොළය ගෙත දෑතෙහි තබා
බෝ ආදරේයි නෙත් යුග කියා
බෝ ලංව තුරුළුව කෙදිරුවා...

සද කෙමෙන් නුබ ගැබ සැගවුණා
මද පවන් සීතල ඇති කලා
වැඳ යහන් මත හිද සැතපිලා
ලද මිහිරි සුව මම සිහිකලා....


සංජනගෙන්...

මා getreal.fullboards වෙබ් අඩවිය පැමිණියේ වර්ෂ 2013 වූ පෙබරවාරි මස පළමු දිනයි. එදා හිතට නැඟුණ සිතුවිලි කිහිපයක් මෙහි අකුරු කෙරුවෙමි. ඒ මෙහි පාලක (Admin) මා සොහොයුරාගේ ඉල්ලීම මතය. ඉන් පසු පැමිණි විවිධ අවස්ථා වල එයට සිතට නැඟුණ දෑ එක් කළෙමි. දවස්, සති, මාස ඇවැමෙන් එය පෝෂණය වන්නාවූ අයුරු මම දුටුවෙමි. අවසානය වන විට දින 113කදී, 4 කොළ 161ක් පුරාවට, වචන 54,807කින් අකුරු 323,052කින් මා ලියු කදුළු සිත්තම මෙයයි.  

පළමුව මෙහි මලීෂ ලෙසත්, කදුළු ලෙසත් පෙනී සිටි මා කතාවට තවත් සමීප වූ නිසා සංජන බවට පත් වුණෙමි. කතාවේ මුල් නම වුවේ එය සුබ මොහොතක් විය‘  යන්නයි.

කතාවට මුල්ම දිරිගැන්වීම ලැබුණේ පවුලේම අයෙකුගෙනි. ඇතැම් දින වල කිසිදු ඇගයීමක් නොලත් කදුළු සිත්තම අවසානය වෙත ළගාවන විට බොහෝ පිරිසකගේ අවධානයට ලක්වී තිබීම පිළිබදව ඇත්තේ නිහතමානී සතුටකි. මුහුණු පොතෙහි මා පළමුව සකස් කළ ව්‍යාජ ගිණුමෙහි නම වූයේ  ද කදුළු සිත්තම් යන නාමයෙනි. එබැවින් කතාවට ද මම 'කදුළු සිත්තම්' යනුවෙන් නම් තැබිමි.

මගෙ ජීවිතයේ ඇතැම් සිදුවීම් කදුළු සිත්තමට එකතු කිරීමට සිතුවේ කතාවෙහි සජිවී බව ඉස්මතු කරනු පිණිසය. නමුත් සමස්ථ කතාවම යථාර්තයක් බවට බොහෝ දෙනා විශ්වාස කරන ලදී. කතාව ඇත්තක්නම් අද වන විට මම ජීවත්ව සිටිනු කෙලෙසද? එබැවින් මා සමග මිතුදමින් සිටි බොහෝ පිරිසක් කෙමෙන් කෙමෙන් මාගෙන් ඈත් විය. ඒ මා එතරම් සල්ලාලයෙකුදැයි ඔවුන් සිතූ නිසා විය හැක. මම සමලිංගික දිවිය පිළිබද මා දැරූ අදහස් ඉදිරිපත් කෙරුවෙමි. එය සියල්ලන්ටම පොදු නැත. ඇතැමෙකු පරමාදර්ශී පෙම් දිවියක් ගත කරති. එබැවින් ඔවුහු මා පිළිකුල් කරති. සැබෑ ලොවෙහි මා දන්නා මිතුරන් දිනෙන් දින මාගෙන් ඈත් වූයේ එනිසාය. දැන් ඔවුනගේ දුරකථනයෙන් පවා මා අවහිර කර ඇත.

වන්නාටය...

කදුළු සිත්තම් රචනා කිරීමට පෙර මවිසින් රචනා කළ, නව කතා කිහිපයක්  පුළුස්සා දැම්මෙමි. ඒ කිසිදු දිනක මවිසින් ලියු කතා මෙලෙස පළ කිරීමට අදහසක්  නොතිබුණ නිසාවෙනි. කදුළු සිත්තමෙන් මා ලද අත්දෑකිම් ඉහටත් උඩය. කිසිවෙකු කෙරෙහි මාගේ  අමනාපයක් නැත. ඇත්තේ කිහිප දෙනෙකු පිළිබදව සිත කඩාවැටුණු කළකිරීමක් පමණි. සියල්ලන්ටම කදුළු පොදු වන නිසාවෙන් තවත් කදුළු සිත්තම් නොකරමි. ඔබ සියල්න්ගේම හදවත් වල මාස කිහිපයක් හෝ ජීවත් වන්නට මම පින් කළෙමි.  එකි අවස්ථාව ලබාදුන් getreal.fullboards.comහි පාලක සොයුරා හට හැමදාමත් කෘතඥ වෙමි. පළමු දින සිට අද අවසානය දක්වාම මා වෙනුවෙන් ඔබ සැම ලබාදුන් අපරිමිත සෙනෙහස, ආදරය හා ලබාදුන් දිරිය වෙනුවෙන් මම හිස නමා අචාර කරන්නෙමි. ඒ පැතුම් මල් සියල්ල මතු දිනයක ගල් මුල් වී මා වෙත පෙරළා එල්ල නොවෙනු ඇතැයි මම සිතමි.

කදුළු සිත්තමෙහි බොහෝ කොටස් අතරදි ඇතැම් පිරිස් සංවේගයට පත් වූ බව මම දනිමි. කිසිවෙකු හෝ අපහසුතාවට පත් කරනු පිණිස මම කදුළු සිත්තම් නොකළෙමි. මෙහි බොහෝමයක් මා ලද අත්දෑකීම් පමණකි. අනෙක් ඒවා මසිතෙහි ඇදුණ මනංකල්පියන්ය. නමුත් සමලිංගිකයන් ලෙස ඔබත් මමත් බොහෝ අත්දැකීම් විද ඇත්තෙමු. සිදුවුයේ ඔබ මෙතෙක් සිතෙහි දරා සිටි කරුණු මගෙද අත්දෑකීම් නිසාවෙන් රචනා වීම පමණි. එබැවින් මම සමාව යදිමි. ඒ යථාර්ථය පැවසූ නිසා නොවේ. ඔබ සංවේගයට පත් වූ නිසාවෙනි.


ඉතින් මේ අවසානයයි.

මෙහි ගුණ දොස් විචාරීමට ඔබට අවස්ථාවයි... සියල්ල ඉතාමත් නිහතමානීව භාරගනිමි... ඔබගේ සියලු ගැටලු වලට පිළිතුරු ලබාදෙමි. නමුත් ඒ මෙහිදී නොවේ. ඔබට හැකියාවක් ඇත්නම් kkandulu93@gmail.com යන ඊමේල් ලිපිනයට ඔබගේ ගැටලු යොමු කරනු මැනවි. කතාව කියවා එයින් ඔබට දැනෙන දේ කියන්නට ඔබ කෘතඥ වනු ඇතැයි මම සිතමි. ඒ කතාවෙන් මා ලබන මානසික සතුට ඔබේ අදහස දැන ගැනීම වන නිසාවෙනි. සියලු දෙනාටම කියවීමට හැකිවන ලෙස මෙලෙස අන්තර්ජාලයේ විවෘත බ්ලොග් එකක් ලෙස මෙය ප්‍රසිද්ධ කර ඇත්තේද එනිසාවෙනි.

සියල්ල දශක හයක් හතක් ඇවැමෙන් නැතිවනු ඇත. කාලයා අප සියල්ලන්ම දුරස් කරනු ඇත. හැමදාමත් මා විශ්වාස කළ පරිදි මා තේරුම්ගන්නා කෙනෙක් වේද ඔහු මා සමග රැදෙනු ඇත. අන් සියල්ලෝම මාගෙන් වෙන් වනු ඇත. සංජන කදුළින් සිත්තම් කරේ එයයි. අවසානයද මෙයි.  පුරා ඔබ වෙත ගෙනා කදුළු සිත්තම මින් නිමා වනු ඇත.

ඔබ නමින්
-
සංජන කෙනෙත් බංඩාර-
------------------------------------------------------------ 

No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...