සංසාර ප්‍රාර්ථනා (31 සිට 40 දක්වා)

තිස් එක්වන ප්‍රාර්ථනය

සමිදාණන් වහන්සේ දිහා බලාගෙන මම බංකුවක වාඩිවුණා. එක අතකින් මට ආව කරදර මොනාද දෙවියන් වහන්සේ එක්ක බලද්දි. උන් වහන්සේ පණ පිටින් කටු ඔටුණු දාලා, කුරුසේ ඇණ ගහල මරලා දැම්මා. බැටලු ලෙනක ඉපදිලා, කාලයක් ධර්මය ඉගෙනගෙන ඒ යථාර්තය මිනිස්සුන්ට කියලා දෙන්න ගිහින් ඒක දරාගන්න බැරි මිනිස්සු ටිකක්ම උන් වහන්සේව මරලා දැම්මා. 
ඇත්ත තිත්තයි. ඒ තිත්ත දරාගන්න මිනිස්සු කැමති නැහැ. ඒ ඇත්තට මුහුණ දෙන්න මිනිස්සු කැමති නැහැ. පිටින් දකින දේට රැවටිලා. ඒ රැවටීමට ආදරේ කරනවා. ඒ රැවටීම වෙනස් වෙනවා දකින්න කැමති නැහැ. ඒ දේ වෙනස් වුණොත් තරහා ගන්නවා. තිබුණ විදිහට හදන්න යනවා. රංඩු වෙනවා. වෛර කරනවා. ලත වෙනවා. නැති වෙනවා. පලි ගන්නවා.....

‘ඔයා මෙහෙද....?‘ අෂි මම ඉන්න තැනට ආවා...‘ මම හැමතැනම බැලුවා.

‘මට මේ හැමදෙයක්ම හීනයක් වගේ අෂි... ‘ මම ඉස්සරා බලාගෙනම කිව්වා. අෂි මම ගාවින් වාඩිවුණා.

‘ජීවිතයම හීනයයැකයි කියා හිතෙනවා....‘ අෂි කිව්වා..

‘කොළඹ ඇවිත් මම අසරණ වුණා අෂි..‘

‘මමත් කොළඹ ඇවිත් අසරණ වුණා මිලාන්...‘

‘සර් ඇයි ඒ වගෙ දේවල් කරන්නෙ අෂි...?‘

‘ඒ සර්ගෙ වරදක් නෙමෙයි මිලාන්. සර් ගොඩක් දුක් වින්ද කෙනෙක්. අපිටත් වඩා. මම සර්ට වෛර කරන්නෙ නැහැ. අනික සර් බලෙන් මට ඒ දේවල් කරෙත් නැහැ. මමත් කැමැත්තෙන් කරේ. මම ඒ ආදරේට උණුහුමට ආසයි. ඒත් සර් ඔයාට කැමතියි කිව්වාම මට ඒක දරාගන්න බැරි වුණා. ඒදා ඒ සර් කරපු දේට මට මාවම පාලනය කරගන්න බැරිවුණා...‘

‘දැන් සර්ව හිරේ දාවි නේද?‘

‘නැහැ.... මේක එච්චර දුර යන එකක් නැහැ. මේවා සාමාන්‍යය දේවල්. උසාවි ගියොත් මම කියනවා මම කැමැත්තෙන් ඒ දේවල් කරේ කියල. මම දැන් පොඩි ළමයෙක් නෙමෙයිනෙ. ඒක නිසා මේක දුර යන්නෙ නැහැ....‘

‘හෙට අපේ රිපෝට් දේවි නේද?‘

‘ඔව්...‘

‘මම ඉට පස්සෙ ගමේ යනවා අෂි...‘

‘අනුරාධපුර...‘

‘හ්ම්... ඔයා මොකෝ කරන්න හිතාගෙන ඉන්නේ....‘

‘මට ගමේ ගිහිං බැ මිලාන්... මම මොකක් හරි වෙන ජොබ් එකක් හොයාගන්න ඕන...‘

‘කොළඹම...?‘

‘ඔව්..‘

‘ඔයාට බය නැද්ද?‘

‘මොකටද?‘

‘මෙහෙම දෙයක් වෙලත් තවත් කොළඹ ඉන්න...?‘

‘ළිඳට වැටුණා මිනිහා ළිං කටින්ම ගොඩ එන්න ඕන මිලාන්...‘

‘හෙට රිපෝට්ස් වල මොනව වෙලා තියේවිද මන්දා...?‘

‘ඔයාට බය වෙන්න දෙයක් නැහැ මිලාන්. ඔයාට කිසිම කරදරයක් වෙලා නැහැ. එත්....‘

‘ඇයි ඒත්...?‘

‘මට මොන ලෙඩ තියෙනවද කියල මමවත් දන්නෙ නැහැ...‘

‘ඔහ්...‘

‘වෙන දෙයක් වෙයිනෙ...‘

‘ළමයි දෙන්නා මෙහෙ නේද?‘ ලොකු ෆාදර් පැත්තක තියෙන දොරකින් ඇතුළට එන ගමන් කිව්වා. පොඩි ෆාදර් එයාටත් සේරම විස්තරේ කියන්න ඇති... ෆාදර් අපි ගාවට ඇවිත් වාඩිවුණා. අපි දෙන්නා නැඟිට්ටා. ‘ඔතනින් වාඩිවෙන්න දරුවෝ....‘

අපි ෆාදර් ඉස්සරාහින් තියෙන බංකුවේ වාඩිවුණා.

ආපු ගමන්නං ෆාදර්ට මුණ දෙන්න ලැජ්ජාවෙ හිටියෙ. දැන්නං ඒක ගාණක් නැහැ. අනික මේවා අපි හිතලා කරපු දේවල් නෙමෙයිනේ...

‘මොනවද දැන් මේ ළමයි කරන්න හිතාගෙන ඉන්නේ...‘ ෆාදර් ඇහුවා.

‘මිලාන් හෙට රිපෝට්ස් බලලා ගෙදර යනවලු ෆාදර්...‘ අෂි කිව්වා.

‘එතකොට ඔය ළමයා...?‘

‘මම වෙන මොකක් හරි ජොබ් එකක් හොයාගන්න ඕන ෆාදර්...‘

‘මිලාන් ගෙදර ගිහිං මොකද කරන්නෙ..?‘ ෆාදර් මම දිහා බලල ඇහුවා.

‘මම තාත්ත එක්ක හේන් කුඹුරු ටික කරගෙන ඉන්නවා ෆාදර්...‘

‘හ්ම්... එකත් හොදයි... මමයි පොඩි ෆාදර්දයි කතා වුණේ මේ ළමයි
කැමතිනං පල්ලියේ වැඩ ටික කරගෙන ඉන්න කියන්න... ‘

මම අෂි දිහා බැලුවා. ෆාදර් මොකද්ද දන්නෙ නැහැ අදහස් කරේ..

‘ඒ කිව්වෙ බර වැඩ නෙමෙයි. ඔය ළමයි කරපු රස්සාව හැටියට මම හිතනවා මේක බොහොම සුළු දෙයක් කියලා.... මේ පල්ලිය අතුපතු ගාලා, ගස් කොළං ටිකට වතුර දාලා. ඒවා කප්පාදු කරගෙන අපිත් එක්ක මෙහෙ ඉන්න කැමතිනං ඉන්න.... මාසෙට පඩියක් දෙනවා අපි. කෑම බීම ඉදුම් හිටුම් එක්ක. තමන්ගෙ ගෙදර කියලම හිතාගන්නකෝ...‘

අෂි ඒකට හිනාවුණා. එයා වැඩේට කැමති වගෙ. අම්මෝ... මමනං ආයෙත් කොහෙවත් ඉන්නෙ නැහැ. හෙටම මම අනුරාධපුර යනවා.

‘මම ඒකට කැමති ෆාදර්...‘ අෂි කිව්වා. ෆාදර් මම දිහා බැලුවා...

‘මට සමාවෙන්න ෆාදර්...‘ මම කිව්වා. ‘මේ සති ගාණට මට හරි මහන්සියි. මම ආයෙත් ගෙදර යන්න ඕන...‘

‘ඒකට කමක් නැහැ දරුවෝ... දෙවියන් වහන්සේගෙ දෙපා ළග අපේ පව් කමා කරලා අලුතින් ජීවිතයක් පටන් ගන්න අපි තාම පරක්කු නැහැ. ඔය ළමයා කැමති දෙයක් කරන්න... ගෙදර ගියාට කමක් නැහැ. පුලු පුලුවන් වෙලාට ඇවිත් යන්න එන්න. ඔය ළමයත් දැන් අපිට හිතවත් කෙනෙක්...‘
මම හිනාවුණා.

‘ෆාදර්ල මට කරපු උදව් මම කවදාවත් අමතක කරන්නෙ නැහැ ෆාදර්...‘

‘අපි එකිනෙකාට උදව් කරගෙන තමයි ජීවත් වෙන්න ඕන දරුවෝ... එහෙම නැත්තං මේ ලෝකෙ පවතින්නෙ නැහැ. හොද අය නරක අය සේරම ඉන්න ඕන. නරක අය නැත්තං කොහොමද අපි හොඳ අයව හොයාගන්නෙ... මිනිස්සු, සත්තු, ගහ කොළ හැම දෙයක්ම මේ ලෝකෙට ඕන. ඒක නිසයි දෙවියන් වහන්සේ ඒ හැමදෙයක්ම මවලා තියෙන්නෙ... අපිට කෙනෙක් නරකයි කියලා අයින් කරන්න බැහැ දරුවෝ.. ඒ කෙනා නරක් වෙන්න මොනවා හරි සාධාරණ හේතු තියෙන්න ඕන. නරකයි කියන්නෙ අපේ අදහස් වලට ගැළපෙන්නෙ නැහැ කියන එකනෙ. හැමෝටම අපි වගේම වෙන්න බැහැ. අපි නරක කෙනාටත් සවන් දෙන්න ඕන. ඇයි එයා එහෙම කරන්නෙ කියල බලන්න ඕන. එයාගෙ පැත්තෙනුත් එයා දිහා බලන්න ඕන. එහෙම නැතිව අපි ආත්මාර්ථකාමි විදිහට අපි ගැනම හිතලා තේරුමක් නැහැනෙ. අපි හැමෝම ගාව හොද නරක තියෙනව දරුවෝ. ඒ හොද නරක දෙකම විවෘතව කර කරන අය අඩුයි. සමහරු හරියට වතුර පිරුණු විලක් වගේ. හරිම ගැඹුරුයි. කාටවත් කියන්න බැහැ ඒ කෙනා කොච්චර නපුරුද කියලා. නමුත් ඒ කෙනා පිටතින් හරිම සුන්දර ලස්සන විදිහට ඉන්නවා. ඒත් සමහරු දිය පාරක් වගේ. හරිම ලස්සනට ගලාගෙන යනවා. පෙණ නංවනවා. සරලයි. අනිත් අයගේ සතුට වෙනුවෙන් ගොඩක් දුක් විදිනවා. ලෝකය කියන්නෙ ඔන්න ඕක තමයි දරුවනේ...‘



-----------------------------------

තිස් දෙවන ප්‍රාර්ථනය

' ෆාදර් මෙහෙද...?' ‍පොඩි ෆාදර් අපිව හොයලා වගේ....' මම මේ උදේට තේ හදලා බැලුවා කට්ටිය කොයිද කියලා.. තේ එක මෙහෙමට ගේන්නද ෆාදර්...?'

'ඕන නැහැ හසන්ත...' ලොකු ෆාදර් බංකුවෙන් නැඟිට්ටා..' ‍එහෙනං ළමයි අපි තේ බොන්න යමුද?'

පොඩි ෆාදර් අෂිත්, මාත් එක්ක හිනාවුණා. සහෝදරත්වයේ ඒ සිනාපොද එදා නොලැබෙන්න අපි තාමත් කූඩුවේ...

හතර දෙනාම පොල් කේක් කාලා හිතේ තියෙන හොඳම කහට එක්ක සප්පායම් වුණා. තේ බීවට පස්සේ අෂි එහෙම්ම කාමරේට ගිහං නිදාගත්තා. අෂි නොකිවට හිතේ ලොකු කඩාවැටිමකින් ඉන්නෙ. අනේ දෙයියනේ අෂිට කරදරයක්නං වෙන්න එපා. මම අනිත් ඇඳට වෙලා කොට්ටේ හේත්තු කරගෙන කල්පනාවක වැටුණා. මම අෂි දිහා බැලුවා. හා පැටියෙක් වගෙ තුරුල් වෙලා අෂි නිදි. මටත් ආසයි අෂිට තුරුල් වෙලා නිදාගන්න. ඒත් ඒක කොහොම කරන්නද?

අෂි බදුල්ලේ, මම අනුරාධපුර. කවමදාකවත් මම බදුල්ලේ ගිහිං නැහැ. අෂිත් අනුරාධපුර ඇවිත් නැතිව ඇති. එත් මෙහෙදි අපි දෙන්නම හම්බුණා. ඒක තමයි සංසාර පුරුදු කියන්නේ. අපිට මේ සංසාරේ හමුවෙලා තියෙන අය කොහෙදි හරි ආයෙත් අපිට හම්බෙනවා. ඒ අතර අපිට ලැබිය යුතු අය අපි මැරෙනකල් අපිත් එක්ක ඉන්නවා. අනිත් අය මගදි අපිව දාලා යනවා. එහෙම දාලා යන හිතන්නෙ නැහැ අනිත් කෙනා කොහොමද ඒක වාව ගන්නේ කියලා. දශක හත අටකට මේ මිනිස් ආත්මයක් ලබාගත්ත අපි ජීවත් වෙන්නෙ කවදාවත් මැරෙන්නෙ නැති විදිහට. අප්පච්චි ඉස්සර කියන්නා වගේ ජීවිතේ සමහර තීරණ ඒ වෙලාවට ගත්තේ නැති වුණාම ජීවිත කාලෙම දුක් විඳින්න වෙනවා. අප්පච්චිත් එහෙම දේකට පරක්කු වුණා කියලා කිව්වට ඒ මොකද්ද කියලා තාමත් මට කියලා නැහැ. මම දිහා බලාගෙන අප්පච්චි කල්පනා කරන වාර අනන්තයි. කුඹුරට ගියාම හැමවෙලේම අප්පච්චි මයිල ගහ ගාව ඉන්න තමයි ආස. අම්මාගෙන් හැමදාම වගේ බැණුම් අහනවා වයසට ගැ‍ළපෙන වැඩ නෙමෙයි කරන්නෙ කියලා. ඒ වුණාට මයෙ අප්පච්චි හරිම අහිංසකයි. අප්පචිච් මම නිසා තමයි සතුටින් ඉන්නේ. අනේ මම ඒ රත්තරං අප්පච්චිව දාලා නේද මේ ඇවිත් ඉන්නේ... අහ් ගෙදරට කොල් එකක් ගන්න ඕන...

මම ටක් ගාලා මයේ ඇ‍‍දෙන් නැඟිට්ටා. ලොකු ෆාදර් ගාවට ගිහින් ගෙදරට කොල් එක්ක ගන්න ඇහුවා.

'අයියෝ... ඕක අහන්න දෙයක්ද ළමයෝ..' ලොකු ෆාදර් කිව්වා. 'මෙන්න මයෙ ෆෝන් එකෙන්ම කොල් එක ගන්නකො...'

බෑග් ‍එකෙන් තිවංකගෙ නම්බර් එක අරගෙන මම කතා කරා. පළවෙනි පාර ආන්සර් නැහැ. දෙවනි පාර යන්තං තිවංක ආන්සර් කරා...

'මචං තිවංක...' මම කිව්වා.

'කවුද බං.. මේ...' තිවංක කිව්වා.

'යකෝ මම රනේ....'

'අම්මද බොල.... මොකද බං උඹට වෙලා තිබුණේ.. හරි හමන් විස්තරයක් නැත්තේ. මෙහෙ කොච්චර දේවල් වුණාද බං.. කො උඹට කියන්න ‍ෆොන් එකක්වත් නැනේ... දැන් කොහෙද උඹ ඉන්නෙ... කවද්ද එන්නෙ...'

'මම දැන් රාගම ඉන්නෙ බං. මට අවුලක් නැහැ. උඹට බැරිද අම්මට ‍ෆොන් එක ගිහිං දෙන්න....'

'හිටපං හිටපං.... මම මේ වත්තෙ ඉන්නෙ.. උඹගෙ අම්මා හැමදාම අහනවා බං උබෙන් කෝල් එකක් ආවද කියලා. පව් බං..... උඹට සතියට සැරයක්වත් කොල් එක්ක දෙන්න තිබ්බා. තව උඹලගෙ තාත්තත් ඉස්පිරිතාලේ නතර කරානෙ. පෙරේදද කොහෙද ටිකක් කපාගෙන ආවෙ. ළග ඉන්න කවුරුත් හිටියෙත් නැහැ බං....' තිවංක කියාගෙන කියාගෙන ගියා.

'මොකක් තාත්ත ඉස්පිරිතාලේ නතර කරා...'

'ඔව් බං ඔව්..'

'මොනවා වෙලාද?'

'සෙම වැඩිවෙලා බං... හිටපං මම මේ උඹලගෙ ගෙදරට ආවා. අම්මට දෙන්නං...'

තිවංක අම්මට කතා කරනවා ඇහුණා.

'නැන්දෙ මෙන්න රනේ කතා කරනවා....' තිවංක අම්මට ෆෝන් එක දුන්නා.

'අම්මා...' මම කතා කරා.

'මයේ දෙයියෝ...' අම්මා අඬන්න ගත්තා. අනේ මයෙ රත්තරං අම්මෙ අඩන්න එපා. මටත් ඇස් වලට කඳුළු ආවා. ' කොහොද මයෙ පුතේ උඹ දැන් ඉන්නේ... අනේ වස්තුවේ ගෙදර වරෙන්... අනේ වරෙන් මයේ පැටියෝ... උඹ නැතුව අප්පච්චිටත් පිස්සු හැදිලා. මම තනිවෙලා මයේ පුතේ... අනේ වරෙන් ‍මයේ අම්මා...'

අම්මා හොදටම ඉකි ගගහා අඬනවා. මටත් ඇඬුණා. කතා කරන්න ගියපු ටිකක් ගිලිලා.

' උඹට කරදරයක් නැහැ නේද මයෙ පුතේ.. උඹ දැන් කොහෙද ඉන්නෙ...'

'මට කරදරයක් නැහැ අම්මේ...' ඇත්ත දැන ගත්තොත් අම්මා පපුව පැළිලා යයි. 'මම දැන් රාගම ඉන්නෙ.. මම හෙට එනවා අම්මෙ ගෙදර...'

'අනේ වරෙන් මයෙ පුතේ... මෙහෙ වැඩ සේරම අවුල් වෙලා...'

'අප්පච්චිට කොහොමද අම්මෙ දැන්. තිවංක මට කිව්වා විස්තරේ....'

'අනේ එදා අර දොස්තර මහත්තයා දෙයියෙක් වගෙ ආවේ නැත්තං උඹට අප්පච්චි කියන්න කෙනෙක් නැති වෙනවා මයෙ පුතේ... අප්පචිචි තනියම හේන් කුඹුරු වලට මහන්සි වෙනවා. අප්පච්චිට දැන් සෙම අමාරු. එදා හොඳටම අමාරුවුණා. වෙලාවට ඒ දොස්තර මහත්තයා ආවේ නැත්තං... අනේ ....'

'බයවෙන්න එපා අම්මේ මයේ අප්පච්චිට මොකවත් වෙන්නෙ නැහැ. මම එනවා. ඉක්මනින් එනවා. අප්පච්චි කොයි අම්මේ දැන්...'

'දැනුත් හේනට ගිහිං පුතේ. උඹ කතා කරා කිව්වා ගොඩක් සංතෝස වෙයි....'

'අප්පච්චිව බලා ගන්න අම්මේ... අම්මත් පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න. මම ඉක්මනින් එනවා...'

'හොදයි පුතේ ... එහෙනං උඹට තුණුරුවන්ගෙ පිහිටයි...'

'තෙරුවන් සරණයි අම්මේ....'

අම්මා ‍ෆෝන් එක තිවංකට දුන්නා.

'මචං තිවංක මම හෙට එනවා. අනේ එතකල් පොඩ්ඩක් අම්මවයි තාත්තවයි බලාගනිං මචං මට කරන ලොකු උදව්වක් මේක...'

'හරි හරි බං.... එකෙ අවුලක් නැහැ...'

තිවංකටත් සුබ පතලා මම ෆොන් එක ආයෙත් ලොකු ෆාදර්ට ගිහිං දුන්නා.

අනේ අප්පච්චි මම නැතිව කොච්චර අසරණ වෙලාද? මම මහා කාලකණ්ණියෙක්. තමන්ගෙ තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කරලා ඉද්දි මට ළග ඉන්න බැරිවුණා. ඒකටනං මට සමාවක් ලැබෙන එකක් නැහැ. මාව නිදිකරවන්න ළඟට වෙලා හැමදාම කවි කතා කියපු අප්පච්චිව අසනීප වුණාම බලාගන්න මට බැරිවුණා. අයෙත් මේ ගෙන්දගම් පොළොවට මම එන්නෙ නැහැ. මට පුරුදු මයෙ රජරට තමයි. හෙට දෙකෙන් එකක් වෙයිනේ...

මම හෙමින් හෙමින් ආයෙත් පල්ලිය ඇතුළටම ආවා. ඒ බෑග් එකෙ තිබ්බ එදා ඇහිද ගත්ත ලියමත් අතට අරගෙන....


---------------------------------------

තිස් තුන්වන ප්‍රාර්ථනය

'ඒක හරිම දිග කතාවක් පුතේ....' මම මමත් අනිත් කෙනත් ඉන්න ෆොටෝ එක දිහා හොඳට බැලුවා. හොඳට දැකලා පුරුදු තැනක්නෙ මේක. දෙයියෝ සාක්කි.... මේ තියෙන්නෙ අපේ කුඹුර ගාව තියෙන මයිල ගහ නේද? කොහොමද මෙතනට ඒක ආවේ...මතනින් කවුද අනුරාධපුර එක්කෙනා. මමද නැත්තං අනිත් කෙනාද?

'පුතාට මතකද පොඩි කාලේ පුතා ඉන ගාව තියෙන කැපුම් පාර අහද්දි අපි බොරුවට කිව්වා එතන පොඩිකාලේ වෙච්ච කැපුම් පාරක් නිසා වුණ කැලලක්කියලා. එත් පුතා වෛද්‍ය විද්‍යාලයේ ඉගන ගද්දි ඒක වකුගඩු බද්ද කරන්න කරන කැපුමක් කියලා ඉගන ගත්තා. මට පුදුමයි ඇයි පුතා ඒක මයෙන් තාම ඇහුවේ නැත්තේ කියලා. පුතා ඒකට බාප්පා එක්ක ගොඩාක් රණ්ඩු වුණා කියලා මම දන්නවා. මමයි බාප්පයි විතරක්ම දන්න ලොකු රහසක් තියෙනවා පුතේ. ඒක හැමදාමට එහෙම්ම තිබුණාදෙන්...

පුතාගේ අම්මා පුතාව දාලා ගියේ සාධාරණ හේතුවකට. ඒ පුතාගෙ තාත්තා තවත් පිරි‍මියෙකුට ආදරේ කරපු හින්දා. පුතා රට ගිහින් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නිසයි මම මේක දැන් විවෘත කතා කරන්නේ... ඇත්තටම කිව්වොත් පුතාගෙ තාත්තා සමලිංගිකයෙක්. ඒක තාත්තාගෙ ලිංගික ආශාවන් විතරක් ඉෂ්ට කර ගන්න තිබුණ පහත් හැඟීමක් නෙමෙයි පුතේ. මම මේ ඇස් දෙකෙන් දැක්ක සජීවි පුදුම ආත්මීය බැදීමක්. ආදරයක්. මේ ෆොටෝ එකෙ ඉන්නෙ ඒ තාත්තගෙ ආදරේ තමයි. ඒ දෙන්නා හරිම සතුටින් හිටපු දෙන්නෙක් පුතේ. පුතාගෙ දෙවනි තාත්තගෙ ගම අනුරාධපුර. පුතා අනුරාධපුර යනවට බය වුණේ ඒකයි. පුතාට වකුගඩුව දුන්නේ ඒ රත්තරං තාත්තා පුතේ.... ආයෙත් ඔයා ඒ බැදීම් හොයාගෙන යනවා ඇති කියලා බාප්පත් මමත් බය වුණා. අම්මා තාත්තා නැති වුණාම අපි දෙන්නා ඔයාව බලාගත්තෙ ඇස් දෙක වගෙ. අපිට වෙන කවුරුත් නැහැ දැන් පුතා ඇරුණාම. අපේ පරම්පරාවම ගෙනියන්න ඉන්නෙ පුතා විතරයි. ඒකයි අපි හැමෝම පුතාට මේ තරම්ම ආදරේ.. ඒක පුතාට කරදරයක් වෙන වෙලාවල් නැතිව නෙමෙයි. ඒත් කොහොමද පුතේ මේ තරං ආදරෙන් බලාගත්ත, හදාගත්ත ඔයා දුක් විදිනවා බලන්නෙ අපි.
පුතාගෙ තාත්තලා දෙන්නම පුදුම විදිහට ආදරේ කරා. ඒ ආදරේ රැකගන්න පුදුම විදිහට දුක් වින්දා. ලංකාව වගෙ රටක සංස්කෘතිය කියන මායාවට අහුවෙලා ඒ දෙන්නම විනාශ වෙලා ගියා. ඇති හැකි මිනිස්සු ප්‍රසිද්ධියේ කරන්න පුළුවන් හැම තුප්පයි වැඩක්ම කරද්දි ඒ අහිංසකයෝ දෙන්නා පුදුම විදිහට අසරණ වුණා. පුතාගෙ දෙවනි තාත්තා හරිම සරල කෙනෙක්. පුදුම විදිහට එයා අපිට සමීප වුණා. පුතාගෙ තාත්තාට හිතාගන්න බැරිතරං ආදරේ කරා. තාත්තත් එහෙමයි. එයා ගොඩක් කැපවීම් කරා සංජනව රැකගන්න. සතිෂ්-සංජන කියන ‍ඒ ආදර කතාව කඳුළු සිත්තමක් වෙයි කියලා කවමදාකවත් මම හිතුවෙ නැහැ පුතේ.

පරම්පරාවේ ගෞරවේ, පැවැත්ම රැකගන්න තාත්තට බදින්න වුණා. තාත්ත ඒක කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි පුතේ. අත්තම්මා, බාප්පා, මම අඩු වැඩි විදිහට එයාට ඒකට බල කරා. එක අතකින් අපි ‍සේරම කරපු ලොකු වරදක් ඒක. එදා මමයි, බාප්පයි කෙලින් හිටියනං අදටත් සංජන-සතිෂ් ජීවත් වෙනවා. හැබැයි එතකොට මේ කතාව අහන්න පුතා නැතිවෙන්න තිබ්වා. ඒ හැමදෙයක්ම දැන් වෙලා ඉවරයි පුතේ... ආයෙත් ඒ කඳුළු අතීතය වෙනස් කරන්න බැහැ.

පුතා දන්නවා ඇති, සමහර විට පුතාට දැනිලත් ඇති මමයි බාප්පයි කිසිම ඥාතිකමක් නැතිව ඇයි මෙහෙම එකට ඉන්නෙ කියලා. පුතා බාප්පා එක්ක රණ්ඩු ‍වුණා කියලත් මම දන්නවා ඒ දේවල් අහලා. දැන් හංගන්න දෙයක් නැහැ පු‍‍තේ.. ඒ මමත් බාප්පත් ආදරේ කරන නිසා. අපි දෙන්නත් සමලිංගික පෙම්වතුන් නිසා. අවුරුදු විස්සක් වගේ දැන් එකට ඉන්න නිසා. රාගික, කාමුක හැඟීම් පරයා ගියපු ආත්මීය ආදරයක් අපි අපි අතර එකිනෙකාට තියෙන නිසා. ඕනම දෙයක් දෙපැත්තෙන්ම බලලා සාකච්ඡා කරලා විසදගන්න අපිට පුළුවන් නිසා අපි තාමත් එකට ඉන්නවා පුතේ. ඒක අපි දෙන්නා මැරෙනකල්ම එහෙම්මයි. දැන් ජීවිතේ ඉදිරියට යනවට වඩා අපි දෙන්නට තියෙන්නෙ පහලට යන්න. තව අවුරුදු ගාණකින් අපි දෙන්නත් මේ ලොකෙන් සමුගන්නවා. ඒක කවදා කොහොම වෙයිද කියන එක කියන්න මම දන්නෙ නැහැ පුතේ... ඒත් මමත් බාප්පත් තාමත් එදා වගෙම ඒ ආදරෙන් එකට ඉන්නවා...

පුතා අනුරාධපුර ගියාම පුතාට සංජනගෙ අතීත මතක සටහන් දැනගන්න ලැබෙයි කියලා අපිට බයයි. ඒක වෙ‍න්නෙ නැහැ කියලා කියන්න බැහැ පුතේ. සංජන කොළඹ ආවේ කවුරුත් හිතන්නෙ නැති විදිහට. ඒ වගෙම තාත්තා සංජන ආදරේ කරෙත් එහෙම්මයි. පුතාට බලන්න කොළඹ ක්වාටස් එක්ක තියෙනවා ඒ දෙන්න ජීවත් වෙච්ච. ඒක තමයි ඒ දෙන්නගෙ රාජධානිය. තවමත් මමත් බාප්පත් ඉදලා හිටලා ඒ ගෙදර යනවා. අපිට දැනෙනවා අපි අතර ඒ දෙන්නා තාමත් ජීවත් වෙනවා කියලා පුතේ...'

අනුරාධපුර සිද්ධි ගෑවිලා තියෙන හින්දම මම කතාව දිගට කියාගෙන ගියා. එකින් එකට ගැළපෙන්නෙ මේ සමලිංගික හැඟීමමද ?

එහෙන් සර් අෂිත් එක්ක එකට ඉන්නවා. මෙහෙන් සංජන- සතිෂ් කියලා දෙන්නෙක් එකට ඉදලා තියෙනවා. මොනවද මේ වෙන්නෙ...

මගෙ අවධානේ බිඳගෙන සුදු පාට කාර් එකක් ඇවිත් පල්ලිය ඉස්සරා නතර කරා. මම බංකුවේ ඉදගෙනම ඒ දිහා බලාගෙන හිටියා. ඉස්සරා දොර ඇර‍ගෙන බැස්සේ ඩොක්ටර්... ඔව් එදා අපිව චෙක් කරපු ඩොක්ටර් තමයි ඒ. එයා පිටිපස්සේ දොර ඇරලා වීල් චෙයාර් එකක් එලියට අරන් දිග ඇරියා. ඉස්සරා දොර ඇරලා ඇතුලේ හිටිය කවුද උස්සලා ඒ පුටුව උඩින් තිබ්බා...


------------------------------


තිස් හතර වන ප්‍රාර්ථනය

මම බංකුවෙන් නැඟිටලා එළියට ආවා. මයෙ ඉස්සරාහින් දැන් ඩොක්ටර් වීල් චෙයාර් එක තල්ලු කරගෙන එනවා. මාව ගාවට ඇවිත් ඩොක්ටර් මීටරයක් විතර දුරින් වීල් චෙයාර් එක නතර කරා. පුටුවේ වාඩිවෙලා හිටිය කෙනා මම දිහා පුදුමයෙන් බලාගෙන හිටියා. දැකලා පුරුදු කෙනෙක්ද මේ... නැනැ කවමදාකවත් එයාවනං මම දැකලා නැහැ. 

තාමත් මම දිහා බලාගෙන. මොකද මේ තරං පුදුම වෙන්න තියෙන්නෙ. මම ඩොක්ටර් දිහා බලලා හිනාවුණා. 

'කොහොමද ඩොක්ටර්...' මම ඇහුවා.

'හොඳයි පුතේ...' ඩොක්ටර් කිව්වා. 'මල්ලිට පුතාව බලන්න ඕන කිව්වා. ඒකමයි අද හදිසියේ ආවේ අපි....'

'අපේ ‍රීෆොර්ස් කොහොම වෙයිද ඩොක්ටර්....' මම හිතේ තිබුණු බරපතලම දේ ඇහුවා.

ඩොක්ටර් හිනාවුණා විතරයි. ඒ කියන්නේ හොඳයි කියන එකද?
පුටුවේ වාඩිවෙලා හිටිය කෙනා තාමත් මම දිහා බලාගෙන. මට කැස්ස වගේ ආව නිසා මම ලියුම අරගෙන කට වහගත්තා.

'කොහෙන්ද ඔයාට ඕක' ඩොක්ටර් මම ගාවට ඇවිත් ඇහුවා.

'මොකද්ද ඩොක්ටර්...'

'මේ ලියුම කොහෙන්ද ඔයාට දරුවෝ...' ඩොක්ටර් මගෙ අතේ තිබුණ ලියුම ගත්තා. මයෙ ලියුමක් නෙමෙයිනෙ. මමත් දුන්නා

'රාගම හරියෙන් මම ඇහිද ගත්තේ...' මම ඇත්තම කිව්වා.

'ඔහ් ඒ කියන්නෙ පුතා ලියුම විසි කරලද?'

'පුතා...' මම ඒ වචනෙ ආයෙත් කිව්වා

දෙයියනේ මේ ඉන්නෙ එහෙනං ඒ කියන ඩොක්ටර් ද? අර පුටුවේ ඉන්නෙ බාප්පද? මොකද්ද මේ වෙන්නෙ. සේරම අවුල් වෙලා දැන්නං මට. කවුද මේ කට්ටිය.

'අනේ මම මොකවත් දන්නෙ නැහැ ඩොක්ටර්.' මම සිද්දිය ඩොක්ටර්ට කිව්වා. 'එදා මම පල්ලියට මොප් ටික විකුණලා රේල් පාරේ ඇවිද ඇවිද හිටියා. එක පාරටම කොච්චියේ ගියපු කවුද වමනේ ගොඩකුත් එක්ක ඔය ලියුම මගෙ ඇඟට විසිකරා....'

'කම්මැලිකම නිසයි මම ලියුම කියවන්න ගත්තෙ... මම දන්නෙ නැහැ කවුරු කාට යවන ලියුමක්ද කියලා ඕක...'

'ඒකට කමක් නැහැ පුතේ...' ඩොක්ටර් වීල් චෙයාර් එක ගාවට ගියා.
'මට තේරෙන්නෙ නැහැ මල්ලි.... මේ මොනවද වෙන්නෙ කියලා.'

පුටුවේ වාඩිවෙලා හිටිය කෙනා එයා ගාවට එන්න මට ඔලුවෙන් සන් කරා. මම එයා ගාවට ගියින් හිටගත්තා. මගේ අතින් අල්ලගෙන මට එතන වාඩිවෙන්න කිව්වා. මමත් එතන දණ ගහාගෙන වාඩිවුණා.

කටින් මොනද කියන්න හදනවා වගේ. කට හෙල්ලෙනවා විතරයි වචන එළියට පිටවුණේ නැහැ. ඒ වචනද කොහොද ඇස් වලින් කඳුළු වෙලා ගලාගෙන ආවා. එයා මගේ මූණ කම්මුල් අත ගාන්න පටන් ගත්තා. යටි තොල හපාගෙන ඇස් වලින් එන කඳුළු හිතේ හැංගිලා තියෙන දුක කියාගෙන ගලාගෙන ගියා.

'පුතා දන්නවද මේ ෆොටෝ එකෙ ඉන්නෙ කවුද කියලා..?' ඩොක්ටර් ඇහුවා.

'මටත් හරි පුදුමයි ඩොක්ටර්... කොහොමද මම ඒ ‍ෆොටෝ එකට ආවේ කියලා....' මම නැඟිටින ගමන් කිව්වා. අරයා තාමත් මගෙ අත අල්ලගෙන.
'අපිත් සතිෂ්ව හොයගෙන ආවේ අපිත් මේ පුදුම වෙලා ඉන්න නිසා තමයි...'
ඩොක්ටර් කිව්වා. ' පුතා මේ ලියුම කියවපු නිසා දැන් පුතාට හංගන්න දෙයක් නැහැ. පුතා දැකපු ගමන් මමත් පුදුම වුණා. මොකද මට සංජනවත් හම්බුණේ හරිම අහම්බෙන්...'

'කවුද ඩොක්ටඒ ඔය කියන සංජන... කොහොමද මගේ ෆොටෝ එක්ක මෙතනට ආවේ... තව දෙයක් ඩොක්ටර් ඒ ෆොටෝ එක අරගෙන තියෙන්නෙ අපේ වෙල ගාවදී....'

ඒකට ඩොක්ටර් මම දිහා බැලුවා.

'ඒ කිව්වෙ...'

'ඔය ෆොටෝ එක තියෙන මයිල ගහා ගාව තමයි අපේ කුඹුර තියෙන්නෙ....'

'ඒ කියන්නෙ පුතා ඉන්නෙ සංජනලගෙ ගෙවල් ගාවමද? සතිෂ් කියන්නෙ මේ මල්ලිගේ අයියා. ලියුමේ කියල තියෙන බාප්පා තමයි මේ ඉන්නෙ.... අයියා නැති වුණා. අයියගෙ පුතාගෙ නම සංජන. අපිත් මේ පුදුම වෙලා ඉන්නෙ පුතේ... පුතාගෙ නමයි අයියගෙ නමයි එකයි. රූපෙත් ඒ වගෙ සමානයි. අයියට ආදරේ කරපු සංජනයි, අයියගෙ පුතයි එක වගේමයි. එකම නමමයි. මෙහෙම පුදුමයක් කොහොමද වුණාද කියලා හිතාගන්න බැහැ....'
අපි කතා කර කර ඉද්දි ලොකු ෆාදර් අපි ඉන්න තැනට ආවා.

'මම ඒත් බැලුවා කාර් එකක් නතර කරලා තියෙන්නෙ කවුද කියලා....' ලොකු ෆාදර් අපි ගාවට ඇවිත් කිව්වා.

'මේ ඩොක්ටර් තමයි අපිව එදා චෙක් කරේ ‍ෆාදර්....' මම ෆාදර්ට ඩොක්ටර්ව අදුරවලා දුන්නා.

'අහ් එහෙමද....?' ‍ෆාදර් කිව්වා. ඩොක්ටර් ෆාදර් එක්ක හිනාවුණා. ' යමු ඉතින් ඇතුළට.... හසන්තව එහෙම දන්නවා ඇතිනෙ මේ මහත්තරු...'

'හසන්ත කියන්නෙ එදා ආව ෆාදර්ට... ' මම හිනාවෙලා ඩොක්ටර්ගෙ පුදුමේ නැති කරා.

ඩොක්ටර් වීල් චෙයාර් එක තල්ලු කරගෙන අපි ඉන්න තැනට යන්න පටන් ගත්තා....

'මම ගන්නද වීල් චෙයාර් එක...' මම ඩොක්ටර්ගෙන් ඇහුවා.

ඩොක්‍ටර් මම දිහා බලලා හිනාවුණා. මොකද්ද මම වාඩිවෙලා ඉන්න කෙනාට කියන්නෙ. බාප්පම කියන්නද? එහෙම කියන්නං... ඩොක්ටර් බාප්පා දිහා බැලුවා. හා කියනවා වගේ බාප්පා ඔලුව හෙල්ලුවා. මම වීල් චෙයාර් එක අරගෙන තල්ලු කරගෙන ගියා.



----------------------------------------


තිස් පස්වන ප්‍රාර්ථනය

ෆාදර්ලා දෙන්නයි, ඩොක්ටර්යි, බාප්පයි ගොඩක් දේවල් කතා කරා. මමත් අෂිත් කුස්සියේ උයන්න උදව් කරා. සේරම දවල්ට කෑම කලා ආයෙක් එකතු වුණා. ඩොක්ටර් අෂි දිහා අනුකම්පාවෙන් බලන් හිටියා. අෂිගේ විස්තර ඇහුවා. අෂිට උදව් කරන්න ඩොක්ටර් කැමති වුණා. ඒක ඇත්තමට මටත් සතුටක්. හෙට ආයෙත් අපි හොස්පිටල් එකෙ හම්බෙන නිසා ඩොක්ටර්ල යන්න ලෑස්ති වුණා. 

‘ඩොක්ටර්....‘ මම ඩොක්ටර් එළියට ආවම කතා කරා.

‘ඇයි සතිෂ් ..‘ ඩොක්ටර් සතිෂ් කියලා කතා කරන්න ඇයි කියල මට තේරුණා. බාප්පත් මම දිහා බැලුවා.

‘මමත් එන්නද යන්න...‘ මම එහෙම ඇහුවාම පොඩි ෆාදර් මම දිහා බැලුවා.

‘මට සංජන සතිෂ් බලන්න ඕන. එයාලගෙ ගෙදර යන්න ඕන...‘ මම ඩොක්ටර් ගාවට යන ගමන් කිව්වා. ‘හෙට ගෙදර යන්න කලින් මට ඒවා බලන්න ඕන ඩොක්ටර්....‘

ඩොක්ටර් ෆාදර් දිහා බැලුවා.

‘දැනට ඔයා ඉන්නෙ ෆාදර්ගෙ බාරේ පුතේ...‘ ඩොක්ටර් කිව්වා. ‘ හෙට පොලීසියෙන් ඔයාලව නිදහස් කරනකල් ඔයාලගෙ වගකීම තියෙන්නෙ ෆාදර් ගාව. හෙට කොහොමත් ඔය දෙන්නා නිදහස් වෙනවා. ඉතින් හොස්පිටල් එකට එන එකෙ ඉට පස්සේ එහෙම්ම අපේ ගෙදර ගිහිං එමු... එහෙම හොඳයි නේද?‘

‘ඒකට කමක් නැහැ ඩොක්ටර්... ‘ පොඩි ෆාදර් කිව්වා. ‘මට ඩොක්ටර්ව විශ්වාසයි. කොහොමත් අපි හෙට හොස්පිටල් එන්න එපැයි. ඒක නිසා ඩොක්ටර්ට කරදරයක් නැත්තං මිලාන්ව එක්ක යන්න...‘

බාප්පා ඔලුව හොල්ලනවා. එක්ක යමු කියලා නේද එයත් මේ කියන්නෙ... ඩොක්ටර් බාප්පගෙ ඔලුව අත ගෑවා.

‘හරි එහෙනං යමු. ෆාදර් අනිත් පුතා එක්ක එහෙනං උදේ හොස්පිටල් එකට එන්න.‘ ඩොක්ටර් කිව්වා.

‘අෂි එන්න යමු...‘ මම අෂිට කිව්වා..

‘ඔයා ගිහිං එන්න මිලාන්... මට මෙහෙ හොඳයි... හෙට උදේ මම එන්නංකෝ...‘ අෂි හිනාවෙලා කිව්වා. අෂිටත් පුදුම ඇති මේ මොකද වෙන්නෙ කියලා.

කොහොම වුණත් මම ආත්මාර්ථකාමිවුණා කියල හිතනවනං මට සමාවෙන්න. මට බලාගන්න ඕන කවුද මේ සංජන සතිෂ් කියන්නෙ කියලා... ලියුම මට හම්බුණා. ඒ ලියුම ලියපු කෙනාව හම්බුණා. ඒ සංජන කියන චරිතෙ මයෙම ගමේ කෙනෙක්. සතිෂ් මම වගේ කෙනෙක්. නම රූපේ... ඒ සේරම එක වගෙ...

මම රෑම් එකට ගිහිං බෑග් එක හදාගෙන ආවා. සමහරවිට ආයෙත් ලොකු ෆාදර්ව කාලෙකින් දකින එකක් නැහැ. ආගම්වාදය පතුරවනවා නෙමෙයි මම. මට කරදරයක් වුණ වෙලාවේ මට මෙහෙම උදව් කරපු ඒ සත්පුරුෂයාට මම දණ ගහලා වදින එක වැරදිද? වැරදිනං එහෙම හිතාගන්න. ඒත් මම දණ ගහලා වදිනවා. ඒ හදවතින්ම මට කරපු උදව්ව නිසා....

ඩොක්ටර් බාප්පව කාර් එකෙ වාඩි කෙරෙව්වා. මම වීල් චෙයාර් එක නමලා ඩිකියට දැම්මා. අෂි දිහාත් ෆාදර්ලත් දිහාත් බලල මම කාර් එකෙ පිටිපස්සෙන් වාඩිවුණා. ඉස්කොලෙදි ඉදලා හිටලා සර්ලගෙ වාහන වල ගියාට පස්සේ මම මේ කාර් එකක යනවමයිද කොහෙද? බාප්පා ඉස්සරා තියෙන කණ්ණාඩියෙන් මම දිහා බලාගෙන.

හදවතින් සමාව යදිනවා වගේ බැල්ලමක් ඒ මූණේ තිබුණා. ඒත් ඇයි සමාව ඉල්ලන්නෙ. ඩොක්ටර් කිව්වා වගේ සංජනවයි සතිෂ්වයි එකතු කරන්න එයලා උදව් නොකරපු නිසාද?

රාගම, කොළඹ පහුකරගෙන අපි මොරටුවට ආවා. මොරටුවෙන් අතුරු පාරවල් දෙකක් තුනක් පහුකරලා ඔන්න දැන් තට්ටු දෙකේ ගෙයක් ගාව වාහනේ නතර කරා. මේකද සතිෂ් සංජන හිටපු ගෙදර...
‘මේක අපේ මහගෙදර පුතේ...‘ ඩොක්ටර් මට කිව්වා. ‘ මේක තමා සතිෂ්ගෙ අම්මගෙ ගෙදර. දැනට අපි ඉන්නෙ මෙහෙ...‘
-------------------------------------එදා කොටස----------------------------------------------------
________________________________________________________________________
ඩොක්ටර් කාර් එක දෙපාරක් හොන් කරා... ගේට්ටුව ඇරුණේ නැහැ.
‘අම්මා නිදි වෙන්න ඇති නේද මල්ලි...‘ ඩොක්ටර් එහෙම කියලා එයාම වාහනෙන් බැහැලා ගේට්ටුව ඇරියා.

ගෙදර ඉස්සරා දොර ඇරලා. මම කාර් එකෙන් බැහැලා ඩිකියේ තිබුණු වීල් චෙයාර් එක ගත්තා. ඇත්තටම මම ආසයි ඒ වැඩේට. ඒ කිව්වේ උදව් කරන්න. පුදුම සතුටක් හිතට ඒක... ඩොක්ටර් බාප්පව උස්සලා වීල් චෙයාර් එකෙන් තිබ්බා. විල් චෙයාර් එක තල්ලු කරගෙන යන්න පුළුවන් විදිහට ගෙදර පාරවල් හදලා තිබුණා. මම හෙමින් බාප්පව තල්ලු කරගෙන ආවා.

‘අම්මා.... අම්මා...‘ ඩොක්ටර් කතා කරා...‘ බලන්නකෝ කවුද ඇවිත් තියෙන්නෙ කියලා.... කෝ ඔයා...‘

‘පුතේ මාමාව ඇතුළට අරගෙන එන්න. ඔයත් වාඩිවෙන්න... අම්මා කොහෙ ගියාද මේ ටිකට...?‘

මම බාප්පව ඉස්තෝපුවෙන් තියලා මම ඒ ළඟින්ම පුටුවක් තියලා වාඩිවුණා. ඩොක්ටර් ගේ ඇතුළට ගියා.

‘අම්මා.....‘ එක පාරම කෑ ගහනවා ඇහුණා. මම ගැස්සිලා නැඟිට්ටා. බාප්පත් එක පාරම බයවුණා.

‘අනේ අම්මා... මල්ලී අම්මා අපිව දාලා ගිහිං....‘ ඩොක්ටර් කෑ ගැහුවා.
මම ඒ සද්දෙ තිබුණ දිහාවට ගියා. කුස්සියේ භාජන වගයක් පෙරලිලා තිබුණා. ඔසරියක් ඇඳගත්ත වයසක ගෑණු කෙනෙක් වතුර ගොඩක් මැද්දෙ වැටිලා හිටියා. ඩොක්ටර් එයාගේ ඔලුව ඔඩොක්කුවේ තියාගෙන හිටියේ. මම කුස්සියේ ලයිට් එක දැම්මා. මොකද වෙලා තියෙන්නෙ මේ....
මම හිටගෙන බලාගෙන හිටියා.

සාලෙන් ඒ පාර සද්දයක් ඇහුණා. ඩොක්ටර් ඔලුව ඉස්සුවා. මම සාලෙට දුවගෙන ගියා. බාප්පා හිටගෙන.... මගේ ඇස් උඩ ගියා. රෝද පුටුව පෙරළිලා තිබුණා. ඇස් වල පිරුණු කඳුළු කැට. කටින් ගොඩක් දේවල් කතා කරන්න හදනවා. අනේ දෙයියනේ මෙයාගේ අම්මා නේද නැති වෙලා ඉන්නෙ... කොහොමද ඒ දුක කෑ ගහලා පිටකරනනෙ....

මම බාප්පා ගාවට ගියා. එයාගේ අත අරගෙන මගෙ කර උඩින් දා ගත්තා. අලුත උපන් ළමයෙන් ඇවිඳින්න හදනවා වගේ බාප්පා මගේ උදව්වෙන් කුස්සිය පැත්තට ආවා. ඒත් ඩොක්ටර් අම්මව උස්සගෙන ඇවිත් ඉස්සරා සැටියෙන් තිබ්බා.

‘අම්මා.....‘ බාප්පා එක පාරම කෑ ගැහුවා. ‘ මගේ රත්තරං අම්මා... අන්තිමට ඔයත් අපිව දාලා ගියාද අම්මේ... ‘ බාප්පා අම්මව බදා ගත්තා. ‘ මටත් අයියටත් හොරෙන් නොකා නොබී ඔයා වින්ඳ දුක් මම නොදන්නව නෙමෙයි අම්මේ... නෑයන්ගෙ පරම්පරාවේ ගෞරවේ රකින්න ඔයා ඔයාවම බිල්ලට දුන්නා. අයියට වෙච්ච දේ මටත් වෙයි කියලා හිතල ඔයා අපිට එකට ඉන්න අවසර දුන්නා. ඒත් අපි හැමෝටම හෝරා ඔයා ගොඩක් හිතෙන් විඳෙව්වා මයේ රත්තරං අම්මේ...‘

ඩොක්ටර් පැත්තකින් වාඩිවෙලා. බාප්පා අම්මා බදාගෙන.
තවත් පරම්පරාවක අවසානයක්. සතිෂ් අයියගේ අම්මා එයාගෙ පුතාගේ මරණය දැක්කා. ඒක අම්මා කෙනෙක්ට මැරි මැරි උපදින්න තරම් වේදනාවක්. තමන් ජීවත් වෙලා ඉද්දි තමන්ගේ පුතා මැරෙනවා කියන එක. නොකිවට හැම අම්මා කෙනෙක්ම කැමති තමන්ගේ දරුවා තමන්ට වඩා පියවරක් හරි ඉස්සරාට ගිහින් සතුටින් ඉන්නවා දකින්න. ඒත් ඒ දරුවොම දෙමව්පියෝ වෙලා හිටියත් තමන්ගෙ අම්මා තාත්තගෙ සිතුම් පැතුම් තේරුම් ගන්නෙ නැහැ.

ඩොක්ටර් නැඟිටලා කාටදෝ කොල් එකක් ගත්තා. ඒ ෆොන් එක වැඩ නැහැ වගේ. ඩොක්ටර් ආයෙත් ගත්තා. වැඩ ආන්සර් කරන්නෙ නැහැ වගේ. තව කාටදෝ කාටදෝ කතා කරලා විස්තරේ කිව්වා. ඩොක්ටර් කියපු විදිහට සතිෂ් අයියගේ අම්මා නැති වෙලා තියෙන්නෙ උදේ. ඒ කියන්නෙ ඩොක්ටර්ල පල්ලියට ආපු වෙලාවෙ. හාර්ට් ඇටෑක් එක්කලු. හරියටම මම දන්නෙ නැහැ. එක අතකින් ඒක අඩු වේදනාවකින් මැරෙන්න පුළුවන් දෙයක් වගෙ.
මල් ශාලාවකින් ඇවිත් අත්තම්මගේ බොඩි එක අරගෙන ගියා. ඩොක්ටර් ඒත් එක්ක ගියා. මමත් බාප්පත් ගේ අස් කරා. අද ගේන දවසේ විතරලු ගෙදර තියාගන්නේ. හෙට මල් ශාලාවට අරගෙන ගිහින් එහෙම්ම පුච්චනවලු. බාප්පා ගොත ගහන ගමන්, අඬන ගමන් කිව්වා. හතර වගේ වෙද්දි සේරම වැඩ ටික කරලා බොඩි එක ගෙදරට ගෙනවා.

ටික ටික හවස් වෙද්දි එකින් එක්කෙනා ගෙදරට ආවා. මම හිතන්නෙ බාප්පගෙ පැත්තෙ නෑයෝ වෙන්න ඇති. සේරම කාර් වෑන් වලින් තමයි ආවේ. අම්මා නැති වෙනවත් එක්කම බාප්පට අමාරුවෙන් ඇවිදින්නත් කතා කරන්නත් පුළුවන් වුණා. නොකීවට මොකද මම ඒ ගැන යටි හිතෙන් සතුටු වුණා. මොකද මට බාප්පගෙන් අහගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඔව් ගොඩක්.... ඩොක්ටර් මට උඩ තට්ටුවේ කාමරයක් වෙන් කරලා දීලා තිබුණා මම ඒකට ගිහින් නාලා ඇඳුම් මාරුකරගෙන සාලෙට ආවා.


-----------------------------------------


තිස් හයවන ප්‍රාර්ථනය

‘හෙලෝ... සංජනද කතා කරන්නේ...‘ ඩොක්ටර් ඇහුවා. ‘ මට සංජනට කතා කරන්න පුළුවන්ද? මම එයාගෙ මාමා කතා කරන්නෙ...‘ 

ඩොක්ටර් හතට වගේ ආයෙත් කාටදෝ කතා කරා. සංජනට ඒ කියන්නෙ සතිෂ් කියන කෙනාගෙ පුතාට. අනුරාධපුර ගියා කිව්වෙ එයානෙ. මැරුණේ එයාගෙ අත්තම්මා.

‘කොහෙද ළමයෝ යන්නෙ. කීයේ ඉදලද කතා කරන්නෙ... හදිසියකටවත් කොල් එකක් ගන්න බැනෙ ඔයාට....‘ ඩොක්ටර් කියාගෙන කියාගෙන ගියා.

එහා පැත්තෙන් මොනව කීවද මම දන්නෙ නැහැ. මට ඒවා ඇහුණේ නැහැ.

‘පුතේ අත්තම්මා නැති වුණා...‘ ඩොක්ටර් ආයෙත් කිව්වා. ‘අද උදේ නැති වුණේ... ඔයාට උදේ ඉදලා කෝල් ගන්නවා ආන්සර් නැනේ...‘

මම මිණිය තිබුණු සාලෙට ගියා. බාප්පා තවමත් අත්තම්මා දිහා බලාගෙන. එයා අම්මට ගොඩක් සමීපව ඉන්න ඇති.

‘පුතා හෙට උදේම එයි මල්ලි..‘ ඩොක්ටර් බාප්පා ගාවට ඇවිදින් කිව්වා.

‘අනේ අයියේ...‘ බාප්පා ඩොක්ටර්ව බදාගත්තා. ‘ අම්මට සැප දෙන්න ඕන කාලෙත් අපි එයාට ගින්දර දුන්නෙ. එයාගෙ වැඩ මම කරන්න ඕන කාලෙ එයා මගෙ වැඩ කරා....‘

‘එහෙම හිතන්න එපා මල්ලි...‘ ඩොක්ටර් බාප්පගෙ ඔලුව අත ගෑවා. ‘අපි අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරානෙ...‘

‘හෙටම අපි අම්මගෙ අවසාන කටයුතු කරන්න ඕනද අයියේ...‘ බාප්පා ආයෙත් ඇහුවා.

‘මල්ලි කැමතිනං අපි තව දවසක් තියාගමු... ඒත් මම හිතන්නෙ ඒක බොරු වැඩක් කියලා මල්ලි. දැන් අම්මා අපි ගාව නැහැ. අපි දැන් එයා වෙනුවෙන් පින් දහම් කරලා ඒවා අනුමෝදන් කරමු....‘

‘ඔව් අයියෙ... සංජන එයාගෙ මුළු ඇඟම දන් දීලා ජීවිත කියක් බෙරුවද?... අපි එහෙම කරමු අයියේ...‘

මටත් ආසයි සංජන වගේ දන් දෙන්න. මැරිලා පොළවට පස්වෙන මේ ඇඟෙන් තවත් ජීවිත ජීවත් කරවන්න පුළුවන්නං ඊට වඩා දෙයක් තියේද? මොළයයි හදවතයි අතර සම්බන්දෙ නැති වුණාම තවත් ඇඟ ඇතුලේ පණක් නැහැනෙ. අවුරුදු හැට හැත්තෑවකට මේක ඇතුලේ කොයි තරං දේවල් පුරවනවද? ඒත් යද්දි ඒ සේරම තියලා කාටවත් නොපෙනෙන දේවල් අරගෙන යනවා..

එදා රෑ මම එන අයට තේ ඇල්ලුවා. කෑම ලෑස්ති කරා. කොහොමත් පාන්දර වගෙ වෙනකල් ඇහැරලා හිටියා. අන්තිමට බාප්පා මාව අල්ල ගත්තා.
‘මට පුතා එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනව පුතෙ...‘ බාප්පගෙ ඇස් වල තවත් කඳුළු... ‘ හිටිහැටියේ සේරම කරදර වුණේ. පුතා මගෙ අයියා වගේමයි. අම්මා පුතා එනකල් හිටියනං එයා ගොඩක් සතුටු වෙයි ආයෙත් අයියා දැක්ක කියලා. පුතා අද ගොඩක් මහන්සි වුණා. දැන් උඩ කාමරෙට ගිහිං නිදා ගන්න....‘

‘ඔව් පුතේ හෙට පොලිසියට යන්නත් තියෙනවනෙ...‘ ඩොක්ටර් පිටිපස්සෙ ඇවිත් මයෙ ඔලුව අත ගෑවා. අනේ මයෙ අප්පච්චිත් හිටියං... මට දුක හිතුණා. ඇහැට කඳුලක් එන්න හැදුවත් මම ඒක දරාගත්තා. මේ වෙලාවෙ අඩලා බැහැ මම....

ගොඩක් දෙනා වැටුණු වැටුණු අත නිදි. පිරිමි කීප දෙනෙක්නං ඔමී බලනවා වගෙ. ගමේ මළ ගෙයක් වුණානං මීට වඩා සෙනඟ හිටිනවා. කසිප්පුකාරයින්ට මළ ගෙවල් මඟුල් ගෙවල් වගෙ. අපිටත් ඉතින් ඒ හැටි වෙනසක් නැ ඒ දෙකෙ. ඔහේ ෆුල් ජොලියේ එක එක විකාර කර කර ඉන්නවා. ඒත් අද මට අමුතුම හැඟීමක් මරණය ගැන දැණුනා. ඇයි ඒ...?
මම උඩ තට්ටුවට ඇවිත් පහළ බැලුවා. බාප්පාව තුරුළු කරගෙන ඩොක්ටර් හිටියා. ඇත්තටම සුන්දර දෙයක්. ඒ දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න ඕන.. මම කාමරේට ඇවිත් ආයෙත් ඇඟපත සෝදගෙන ඇඳට වැටුණා.

පහළ තට්ටුවේ ජීවිතයක අවසානයක්. මම තාම ජීවිතයේ ආරම්භය හොයනවා. ඇත්තටම මොකද්ද මේ සමලිංගික ජීවිතේ කියන්නෙ. මටත් අද වෙනකල්ම ආදරෙයි කියන්න ගැහැණු ළමයෙක් හිටියෙ නැහැ. මම තිවංකට ආදරේ කරාද? නැහැ නැහැ ඒක යාලුකමක්. මට ගේ ගාවම හිටපු එකා ඌ. අපි දෙන්නා කවදාවත් එකට ඉදලා නැහැනෙ. ඉස්කෝලෙදි කරපු ඔය පොඩි පොඩි දේවල් ලොකුවට ගන්න බැනේ. අෂි... එයා ගැන මොකද හිතෙන්නෙ මට. ඒක සහෝදරකමක් වගේද? ඔව් ඒ වගෙ. හැබැයි අෂිට තුරුල් වෙලා ඉන්න මට ආසයි. ඒ කියන්නෙ මම අෂිට ආදරෙයිද? නැහැ එහෙමත් නැහැ. අෂිව සිපගන්න ආසවකුත් නැහැ. මොකද්ද මේ මට හිතෙන විකාර දේවල් දැන්... මම බලෙන් සමලිංගික වෙන්න යනවද? අනේ................... මොකද මේ වෙන්නෙ කියන්නකෝ මට.....

එකට එක ආව මහා විකාර හීනත් එක්ක මම නින්දට වැටෙන්න ඇති.

‘පුතේ.... සතිෂ්... පුතේ....‘ ලාවට දොරට කවුද ගහනවා වගේ ඇහුණා. ඩොක්ටර්ගෙ කට හඬ මම ඇඟ මැලි කඩාගෙන නැඟිට්ටා. අම්මට සිරි වෙලාව නමයයි. අටාමාරට පොලීසියට එන්න කිව්වෙ.. මම සටස් බටස් ගාලා ඇඳෙන් පැන්නා. දොර ඇරියා. අනේ ඩොක්ටර් තේ එකකුත් අරගෙන ඇවිත්...

‘පුතා තේ එක බීලා ලෑස්ති වෙලා එන්න.‘ ඩොක්ටර් කිව්වා ‘දැන් ෆාදර්ලා මෙහෙට ඒවි. පුතාට ඒත් එක්ක පොලිසියට යන්න පුළුවන්. හොස්පිටල් එකට මම කතා කරා.. පුතාට කිසිම දේකට බය වෙන්න ඕන නැහැ. රීෆෝට්ස් සේරම නෝමල්...‘

‘එතකොට අෂිට....‘ මම ඇහුවා.

‘අපිට එයාට තව ටෙස් ටිකක් කරන්න තියෙනවා. බය වෙන්න එපා. සේරම හරියයි... දැන් ලෑස්ති වෙලා එන්නකො...‘ ඩොක්ටර් දොර වහගෙන යන ගමන් කිව්වා.

අෂිට මොකද්ද ...? එයා කාලයක් සර් එක්ක හිටපු නිසා මොකක් හරි ලෙඩක් හැදිලද දන්නෙ නැහැ. ඩොක්ටර් කිව්වනෙ බය වෙන්න එපා කියල... මම දත කට මැදගෙන තේ එක බීලා ලෑස්ති වුණා. බෑග් එකත් පැක් කරගෙන පහළට ආවා. මම පහළට එද්දි ෆාදර්ලා ඇවිත්. අෂිත් ෆාදර් එක්ක හිටියා.

‘ගුඩ් මෝනින් මිලාන්...‘ පොඩි ෆාදර් මට කිව්වා. මමත් විෂ් කරා. අෂිටත් විෂ් කරා මම... ෆාදර්ලා උදේට කාලා ඇවිත්. ඒත් අෂි මාත් එක්ක ආයෙත් උදේට කෑවා. ෆාදර්යි ඩොක්ටර්ටයි පැත්තකට වෙලා ගොඩක් දේවල් කතා කරා. මොනාද කියන්න අපි දන්නෙ නැහැ.

කලා ඉවර වෙලා අපි යන්න පිටත් වුණා. මම බාප්පා ගාවට ගියා.

‘පුතා ආයෙත් එනවා නේද..?‘ මම වඳිද්දි බාප්පා ඇහුවා.

මම හිනාවෙලා ඔලුව වැනුවා.

‘මමත් ගිහින් පුතාව එක්කගෙන එන්නං මල්ලි..‘ ඩොක්ටර් මම ගාවට ඇවිත් කිව්වා.

‘හා අයියේ... අයියා එහෙම්ම ජයරත්න එකට එනවද?‘ බාප්පා ඇහුවා.

‘ඔව් මල්ලි එහෙම කරන්නං. තව ටිකකින් මල් ශාලාවෙන් ඒවි....‘ ඩොක්ටර් කිව්වා.

මටනං ඒවා තේරුණේ නැහැ.


---------------------------------------------------


තිස් හත්වන ප්‍රාර්ථනය

අෂියි, මමයි ෆාදර් එක්ක පොලීසියට ආවා. සර්වත් පොලීසියට එක්ක ඇවිත් තිබුණා. සර්ගෙ මූණ හොදටම වෙනස් වෙලා. පොලීසියෙන හොඳට සලකලා වගෙ. අර මුලින් තිබුණු ගාම්භීර ප්රතතාපවත් පෙණුම ගෑවිලාවත් නැහැ. පුදුම විදිහට අසරණ වෙලා වගෙ. ඉස්පිරිතලෙන් වාර්තාවක් පොලීසියට එවලා තිබුණා. මමත්, අෂිත්, සර්රුත් ඕ.අයි.සී. සර් ගාවට ගියා. 

සර් පි.සි. සර් ගෙනත් දුන්න ෆයිල් එක පෙරළ පෙරළ බැලුවා. ෆාදර් එළියෙද කොහොද?

‘කවුද දැන් සතිෂ් රන්දුනු මිලාන්...‘ ඕ.අයි.සී. සර් ඇහුවා.

‘මම සර්..‘ මම කිව්වා.

‘අෂින්ත මල්ශාන් දෙව්සර.. තමාද?‘ ඕ.අයි.සර් අෂිගෙන් ඇහුවා.

‘ඔව් සර්...‘ අෂි කිව්වා.

‘තමාද එතකොට මෙයාලගෙ බොස්...‘ සර්ගෙන් ඇහුවා.
සර් ඔලුව වැනුවා.

‘තමුසෙ දන්නවා නේද තමුසෙ දුරදිග නොබලා කරපු වැඩ වලින් දැන් වෙලා තියෙන දේ.‘ ඕ.අයි.සී සර් කියාගෙන ගියා. ‘ආයෙත් හදන්න බැරි තරං තමුසෙ ජීවිතේ වරද්ද ගත්ත. ඒ විතරක් නෙමෙයි. මේ අහිංසක කොල්ලටත් වැරැද්දුවා. නීතියෙන් තමන්නට දෙන දඩුවම දෙනවා. ඒත් මම හිතන්නෙ ඊට සිය දහස් ගුණෙකින් තමුසේගෙ හදවතින් තමුසෙට දඩුවම් කරයි. මිනිස්සුන්ට හැඟීම් දැනීම් තියෙනව ඔයි.. ඒත් එවාගෙ සීමාවක් තියන්ඩ ඕන.. බල්ලෝ බළල්ලු වගෙ හැසිරෙන්න ගියාම ඔහොම දේවල වෙනවා. මේ අහිංසකයා නොහිටින්න තමුසෙ මේ ළමයත් නැති කරනවා. තමුසෙට මොනවා කරන්ඩද කියල මට හිතෙන්නෙ නැහැ ඕයි... මට කරන්ඩ දෙයක් නැ එක අතකින් තමුසෙම කරන්ඩ ඕන දේ කරගෙන ඉන්න හින්දා. මට දුක මේ අහිංසකයා ගැන... බලනවා තමුසෙගෙ දරුවෙක් වගෙ නේද....?‘

‘සර්...‘ අෂි පොලිස් සර්ට කතා කරා. ‍

පොලිස් සර් පුදුම වුණා. මමත් සර්රුත් පුදුම වුණා. අෂිගෙ ඇස් දිලිසෙනවා. පුදුම ආත්ම ශක්තියක් ඒ ඇස් වල තිබුණා.

‘සර්... මගෙ සර් වැරදි නැහැ. සර් මාව බලෙන් ඒ දේවල් වලට පොළඹව ගත්තෙ නැහැ. මම කැමැත්තෙන් ඒවා කරෙ. සර්ට විතරක් වරද පටවන්න බැහැ සර්. මම පළවෙනි දවසෙම අකමැති වුණනං සර් මට ආයෙ ඒ දේවල් කරන්න එන්නෙ නැහැ. මමත් කැමැත්තෙන් හිටියේ. කවමදාකවත් තාත්තා කෙනෙක්ගෙන ලැබුණු නැති ආදරෙ, ආරක්ෂාව, උණුහුම මට ලැබුණේ සර්ගෙන. ඒක හින්දා සර්ට විතරක් දඩුවම් කරන්න එපා සර්. මමත් වැරදි....‘
සර්ගෙ ඇස් වලින් කඳුළු එළියට ආවා. සර් යටි තොල හපාගෙන ඉකි ගැහුවා. මටත් ඇඬුණා. ඕ.අයි.සර්. පුදුමයෙන් බලාගෙන හිටියා.

‘පිරිමියෙක් පිරිමියෙක්ට ආදරේ කරන එක වැරදිද සර්. ගැහැණු පිරිමි අයට විතරද ආදරේ කරන්න පුළුවන්. තාත්තා පුතාට ආදරෙයි. අයියා මල්ලිට ආදරෙයි. යාලුවෙක් යාලුවෙක්ට ආදරෙයි. නෑයෝ නෑයෝ ආදරෙයි. ඉතින් මටයි සර්ටයි ආදරේ කරන්න බැරිද? ආදරෙත් එක්ක අපි අපේ ලිංගික ආශාවන් ඉෂ්ට කර ගත්තා කියලා නීතියට කරදරයක් වෙනවද සර්... හැඟීම් පාලනය කර ගන්න බැරි වුණාම මිනිස්සු සත්තු වෙනවා තමයි. මිනිස්සුන්ට මිනිස්සු වගේ තමන්ගෙ හැඟීම් ඉටුකර ගන්න විදිහක් හදන්න බැරිද? වරදක් වෙලා දඩුවම් කරන්න මාන බලාගෙන ඉන්න නීතියට බැරිද ඒ වරදට හේතුව හොයලා ඒකට විසදුම් හොයන්න. දියුණුයි කියල සර්ල අපිට කියල දෙන ඇමරිකාව, ජාපනෙ, ඕස්ටේලියාවේ... වගෙ රටවල් වල පිරිමි පිරිමි ආදරේ කරනවනං ඇයි අපිට බැරි සර්? ඒ මිනිස්සුන්ට පිස්සුද? ලංකාවෙත් උගත් බුද්ධිමත් හැමෝම පිළිගන්නවා සමලිංගික හැඟීම සාමාන්ය දෙයක් කියලා. ඇයි නීතියට තෙරෙන්නෙ නැත්තෙ ඒක? සර්ලම කියනව වගේ නීතිය අන්ධ නිසාද? නැත්තං අපිට පිස්සු නිසාද?...

ඕ.අයි.සි. සර් මොනව කියන්නද කියල හිතනවා. අෂි කීව එක ඇත්ත. සර් අෂිව අරගෙන බදා ගත්තා. පොලීසියෙ වෙන්නෙ මොනවද මේ...?
මටයි අෂිටයි ඇප ලැබුණා. සර්ට විරුද්ධව නඩුවක් ගොණු කරා. උසාවි දානකල් සර්ව රිමන් කරන්න වෙනවා කියලා ඕ.අයි.සී සර් කිව්වා. අෂි සර්ව බදාගෙන හොඳටම ඇඬුවා. මට සර් ගාවට ගියෙ නැහැ. සර් මම දිහා සමාව ඉල්ලන විදිහට බැලුවත් මම ඒ දිහා බැලුවෙ නැහැ. මට තරහක් නැහැ. ඒත් ඕන නැ කියල හිතුණා. අෂිට පල්ලියේ ඉන්න පුළුවන් නිසා සර් එක අතකින් සතුටු වුණා. සතිපතා අෂිට බෙහෙත් ගන්න හොස්පිටල් එකට යන්න කියලා පොලිසියෙනුත් කිව්වා. ෆාදර් ඒ වගකීම භාරගත්තා. මට ගෙදර යන්නත් අවසර ලැබුණා. ඕන උණොත් උසාවි එන්න වෙයි කියලා කිව්වා. අනේ එහෙම වෙන්නනං එපා. පොලිසියේ වැඩ ටික ඉවර කරල අපි පානදුරෙ කඩකින් දවල්ට කෑවා. බඩගිනි තිබුණට වෙච්ච දේවල් එක්ක මටත් අෂිටත් ගොඩක් කන්න බැරිවුණා.

‘මිලාන් දැන් මොකේද ගෙදර යන්නෙ...?‘ ෆාදර් මගෙන් ඇහුවා.

‘කොටුවට ගියානං මට අනුරාධපුරට බස්එකක් ගන්න පුළුවන් ෆාදර්...‘ මම කිව්වා.

‘බස් එකෙ දැන් ගෙදරට යද්දි රෑ වෙයිනෙ ළමයෝ....‘

‘ඒකට කමක් නැහැ ෆාදර්... මට බයක් නැහැ..‘

‘මම හැදුවෙ දැන් යන ගමන් ඩොක්ටර්ගෙ මළ ගෙදරත් ගිහින් මිලාන්ව උදේ රාගමින් කෝච්චියට දාන්න...‘

ඔහ් මළ ගෙදර යන්නත් වෙයි නේද?

‘අපි මළ ගෙදර යනවද ෆාදර් දැන්....? මම ආයෙත් ඇහුවා.

‘අපි ගියොත් හොඳයි නේද?‘

‘ඔව් ෆාදර් අපි එහෙනං මළ ගෙදර යමු....‘

අෂි තාමත් අඬනවා. ෆාදර් මොකවත් කියන්න ගියෙ නැහැ. මම අෂිගෙ ඔලුව අත ගාගා හිටියා. කොහෙද මේ පාරවල්නං මම දන්නෙ නැහැ. වෙලාව තුනට හතරට විතර ඇති. එන ගමන් ගෙදරට ආයෙත් කොල් එකක් දීලා හෙට එනවමයි කිව්වා. අම්මං ටිකක් බර බරේ දැම්මා. ඒත් රෑ එනවට වඩා උදේම එන එක හොදයි කියලා එයත් කිව්වා. සමහර විට තාත්තා ළග ඉන්න ඇති. එක පාරම හතර මං හන්දියක එක පැත්තක අයිනක කාර් එක නතර වුණා. මිනිස්සු ගොඩක් එක තැන. මොකද්ද මේ....

‘ජයරත්න මල් ශාලාව...‘


---------------------------------------------


තිස් අට වන ප්‍රාර්ථනය

සුදු ඇඳගත්ත නෝන මහත්වරු ඉස්සරාට වෙලා හිටගෙන කතාව. සමහරුනට හිනා. තට්ටු දෙකක් වගේ ගොඩනැගිල්ල. මිනි තුනක් තට්ටු තුනක. පැය ගාණය අය කිරීම්.... කොළඹ ජීවිත හරිම ක්ෂණිකයි. ඊයේ මැරුණා. අද වලදානවා. ඒ වෙලාවට අඩන්න විතරක් නැයෝ සෙට් එක ලෑස්ති වෙනවා වගෙ. ඩොක්ටර් බාප්පාත් එක්ක මිනිය ගාව වාඩිවෙලා හිටියා. 

පහත තට්ටුවේ දැල්වුණු පහන් දෙක්ක අතර අත්තම්මා සැතපිලා. සුදු පාට සාරියෙන්. බෙල්ලෙ තිබුණු ඇට මාලෙන් එයාගේ නුවර කුමාරිහාමි ප්රෞතඪත්වය ගන්න හැදුවත් පියවෙලා තියෙන ඇස් දෙකෙන් කියවුණේ වෙනම කතාවක්. කීප දෙනෙක් ශාලාව ඇතුලේ හිටියා. එයාලා එක එක වග තුග කතා කරනව මිසක් ඇත්තමට අත්තම්මා ගැනනං කතාවක් නැහැ වගෙ. අපි තුන්දෙනා දොරෙන් ඇතුළට ගියා. බාප්පා අයිනක පුටුවක වාඩිවෙලා හිටියා. ඩොක්ටර්ට එතනම හිටගෙන. ඩොක්ටර්ට හේත්තු වෙලා තමයි බාප්පා හිටියේ. බාප්පට තමයි ගොඩක් දුක ඇත්තේ. මොකද සතිෂ්ට වඩා අම්මත් එක්ක ළගින් ඉදලා තියෙන්නෙ බාප්පා. කතාවෙ විදිහට සතිෂ්ට මැරි කරන්න අම්මව පොළඹවල තියෙන්නෙත් බාප්පා. අම්මට ගොඩක් ළගින් හිටිය නිසාම එයා අම්මා ගැන දන්නවා ඇති. ඊටත් වඩා බාප්පා රට ඉදන් අසනීප වෙලා ආයෙත් ලංකාවට ආවට පස්සේ පොඩි කාලේ වගේම කැත කුණු අත ගාලා බාප්පගෙ සේරම වතාවත් කරලා තියෙන්නෙ අම්මා. වයසට ගියාම අම්මට සලකන්න ඕන කාලෙත් එයා අම්මගෙන් සැලකුම් ගත්තා. බාප්පට හුගක්ම ඇත්තෙ ඒ දුක. නොහිතපු විදිහට එයා සනිප වුණාම එයාට අම්ම වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි වුණා.

අපි යන පැත්තෙම කෙනෙක් දේහයේ කකුල් ගාවට වෙලා දේහය දිහා බලාගෙන. ඔලුව උස්සලාවත් බැලුවෙ නැහැ. අපි ඩොක්ටර්ස්ල ගාවට ගියා. බාප්පනං තාමත් අඩනව. පව් එයාට තමයි ගොඩක්ම දුක ඇත්තෙ..

ෆාදර් ඩොක්ටර්ට විස්තරේ කිව්වා. මම බාප්පා ගාවට ගියා. එතන දණ ගහගත්තා. බාප්පා මගෙ ඔලුව අත ගෑවා. මට අමුතුම හැඟීමක් දැණුනා. මගෙ තාත්තා ළග ඉන්නවා වගේම....

‘පුතේ........ සංජන.......‘ බාප්පා කාටද කතා කරා... ‘ මිනිය ළඟ ඉන්න කෙනා බාප්පා දිහා බැලුවා....

මගෙ ඇඟ හීතල වෙලා ගියා. මේක හීනයක්ද? පපුව වේගයෙන් ගැහෙනවා දැණුනා මට.

සං....

ජ....

න.....

කියන අකුරු ටික ලොකු ඝාණ්ඨාරයකින් එකින් එකට වදින ටාං ... ටාං.... ටාං...... ටාං.... යන හඩින්ම මට ඇහුණෙ. දේහය ගාව හිටපු කෙනා බාප්පා දිහා බැලුවා. මෙච්චර වෙලා හැමෝම කතා වුණු සංජනද මේ....? මම එහෙම්ම ඉන්දවුණා. මම ඇහිපිය ගහන්නෙ නැතිව ඒ දිහා බලාගෙන හිටියා. කිසිම හිනාවක් නැතිව සංජන බාප්පා ගාවට ආවා.

'ඇයි බාප්පේ....' සංජන ඇහුවා.

මම නැඟිට්ටා... සංජන බාප්පා ඉන්න තැනට ආවා.

'පුතේ මේ ඉන්නෙ සතිෂ්...' බාප්පා මාව අඳුරලා දුන්නා. ' සතිෂ් කිව්වට සතිෂ් රන්දුණු මිලාන්...'

'මොකක්....' සංජන ඇහුවා. 'ඒක මයෙ තාත්තගෙ නමනෙ....'

'නම විතරක් නෙමෙයි පුතේ... තාත්තගෙ හැඩරුවත් මේ වගෙමයි මේ වයසට....' බාප්පා කිව්වා.

සංජන මම දිහා බලාගෙන හිටියා. මම ලාවට හිනාවුණත් ඒ මුණේ තිබුණේ කළකිරීමක් වගෙ. ඒක නිසා මම ආයෙත් හිනාව ගිල්ලා. සංජන ආයෙත් දේහය ගාවටම ගියා.

'මිලාන්ට යන් පරක්කු වෙනවා නේද?' ඩොක්ටර් මම ගා‍වට ඇවිත් කිව්වා.
'අදම ගෙදර යනවද?'

'නැහැ සර්... දැන් ෆාදර් එක්කල පල්ලියට යනවා. හෙට උදේම තියෙන කෝච්චියේ අනුරාධපුර යන්න කියලා හැදුවේ...' මම කිව්වා.

' ඒක හොඳයි...' බාප්පා කිව්වා. ' දැන් ගියොත් රෑ දහය ‍එ‍කොළහා වෙයි ගෙදර යද්දි....'

' සතිෂ්, සංජන වගෙ දඩබ්බර නැති හින්දා හොඳයි....' ඩොක්ටර් මම දිහා බලලා කිව්වා.

එක පාරම බෙර හඬකුත් එක්ක නලා හඬක් ඇහුණා. බාප්පත්, ඩොක්ටර් මිනිය ගාවට ආවා. මිනිය උස්සන්න ළඟ ඇති... මම අෂි ඉන්න තැනට ආවා. අෂියි ෆාදර්යි මිනිය දිහා බලාගෙන.

බාප්පගෙ, ඩොකටර්ගෙ, අෂිගෙ මූණේ බලාපොරොත්තු සුන් වුණ හැඟීමක්. ෆාදර්ගෙ මූණේ මධ්ය ස්ථ හැඟීමක්. සංජන කියන කෙනාගෙ මූණේ කිසිම හැඟීමක් නැහැ. යථාර්තය මේකම නෙමෙයිද? මුලාවක පැටලිලා... අපි අසරණ වෙලා නැද්ද? මූසල බෙර නලා හඬත් එක්කම අත්තම්මගෙ දේහය වැහුවා. බාප්පා, ඩොක්ටර්... තව කට්ටිය එයාව බදාගෙන ඇඬුවා. ඒ වෙලාවෙනං මුරණ්ඩු සංජනගෙ ඇස් වලින් කඳුලක් එනවා දැක්කා. ජයරත්න මල් ශාලාව ඉස්සරාම තිබුණ බොරැල්ල කනත්තෙ අත්තම්මගෙ දේහයේ මතක සුවඳ ගුවනට මුසු කරා...

ඒ වැඩ ටික ඉවර වුණාට පස්සේ මමත් අෂිත් ඩොක්ටර්ට, බාප්පට කතා කරලා ආයෙත් යන්න හැරුණා. බාප්පා මයෙ ගාවට දුවගෙන ආවා.

‘පුතේ ඔයා ආයෙත් එනවා නේද....? ‘ බාප්පා මගෙන් ඇහුවා.

‘ඔව් බාප්පෙ... ‘ මම කිව්වා. ‘මම ආයෙත් එනවා. මට ඔයාගෙන් දැන ගන්න ගොඩක් දේවල් තියෙනවා....‘

එන ගමනෙදි ඉස්සරාට සංජනව හම්බුණා. ඇස් වලට ඇස් යා වෙන්න ඇති. කොච්චර වෙලා බලාගෙන හිටියද කියලා දන්නෙ නැහැ. ඒ ඇස් ඇතුළින් මට නොපෙනන අපැහැදිලි තැන් තිබුණා. කෝච්චියෙන් මට ලියුම දැම්ම, ඩොක්ටර්ගෙ, බාප්පගෙ ආදරේ සංකේතය මේ. ලියුම තිබුණ විදිහට සංජන සතිෂ් ආදර කතාවේ ඉතිරි වුණු එකම මිනිස් පුලුට මේ. සතිෂ්ට දාව, සංජනගෙ වකුගඩුවෙන් ජීවත් වෙන තාත්තලා දෙන්නෙක්ගෙ ආදරය මේ. අනෙ ඒ ආදරණීය තාත්තලා දෙන්නගෙ කතාව ආයෙත් කියවන්න ඇත්නම්...
ෆාදර් කතා කරනකල් මම ඒ දිහා බලාගෙන හිටියා.

‘මිලාන්.... අපි යමුද?‘

බාප්පත්, ඩොක්ටර්ත් අපි දිහා බලාගෙන. අඬන්න කියලාද හිනා වෙන්න කියලද ඔයාල මට කියන්නෙ...?


-------------------------------------------


තිස් නව වන ප්‍රාර්ථනය

‘මිලාන්...‘ නැගිටින්න.

මම එක පාර ගැස්සිලා නැගිට්ටා.

ඔහ් අෂි මම ළග.

‘ අද නැගිටින්න කල්පනාවක් නැද්ද?‘ අෂි හිනාවෙන ගමන් ඇහුවා. 

දවස් ගානකින් ආයෙත් පුරුදු විදිහටම අෂි මාව ඇහැරවනවා. මම අෂිගෙ මූණ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. අෂි මම ළඟ වාඩිවෙලා. මම ඇඳේ ඉදගෙනම අෂිව බදා ගත්තා. මෙච්චර වෙලා අෂිට කියන්න බැරිවෙලා තිබුණු ඒ සහෝදරත්වය, ඒ මිත්රිත්වය කෑ ගහලා අඬලා කියන්න මට වෙලාවක් එනකල් තමයි මම බලාගෙන හිටියෙ. මම ඉකි ගහලා ඇඬුවා. මතක ඇති කාලෙක මම එහෙම ඇඩුවමයි. එදා පානදුර ආපු දවසෙ මාව භාර අරන් පුහුණු කරපු මගෙ මැනෙජර්. ජීවිතයේ මට ලොකු වෙනසක් කියලා දුන්න මැනේජර්. කෙටියෙන්ම කිව්වොත් මගෙ ජීවිතේ මැනෙජ් කර ගන්න, මාව මැනෙජ් කර ගන්න මට උදව් කරෙ අෂි. ඒත් මම අද ආයෙත් අනුරාධපුර යනවා. සමහරවිට ආයෙත් කවමදාකවත් මම මේ ගෙන්දගම් පොළොවට එන්නෙ නැති වෙයි. මට ඒ තරං කළකිරිලා. බාප්පට, ඩොක්ටර් කිවාට මම ආසයි ගමට වෙලා ඉන්න. හරි මහන්සි මේ තරඟෙ එක්ක. ඒක අවසන් වුණු එක ලොකු සතුටක්.

‘මොකො... ‘ අෂි මගෙ ඔලුව අතගාන ගමන් ඇහුවා. ‘ඇයි මිලාන් මේ.... කවදාවත් ඔයා මෙහෙම අඬලා නැ... ඇයි මේ......‘

‘අනෙ අෂි..... ඔයා මාත් එක්ක අනුරාධපුර යමු....‘ මම කිව්වා. ‘අපි දෙන්නා එකතු වෙලා අපේ හේන කරමු. කුඹුර කරමු. අපිට ජීවත් වෙන්න ඒක ඇති....
‘මිලාන්.... ‘ අෂි මගෙ උරිස් දෙකන් අල්ලලා ඉස්සරාට කරා...‘ මොකද ඔයාට මේ වෙලා තියෙන්නෙ. ඇයි මේ....‘

‘මට ඔයාව ඕන අෂි.... මට ඔයා එක්ක ඉන්න ඕන....‘ ඇත්තමට මම හිතල කියන වචන නෙමෙයි මේවා. මට කියවෙනවා. මට අෂි ඕන....

‘ ඔහ් මයෙ යාලුවේ... මොකද ඔයාට මේ වුණෙ.... අපි අපිට නැති වෙලා නැනේ... එදත් අදත් හෙටත් අපි අපි ගාව ඉන්නවා.....‘

‘ඒත් මම අද ගෙදර යනවා...‘

‘ඉතින්.... ඔයා අය කවදාවත් මාව බලන්න එන්නෙ නැද්ද?‘ අෂිගෙ ඒ කතාවට මට දෙන්න උත්තර නැහැ වගෙ...

‘අනෙ ගෙම්බෝ... ඔයා ආවෙ නැත්තං මම එනවා ඔයාව බලන්න හරිද?....‘ අෂි හිනාවෙන ගමන් කිව්වා..... ‘ දැන් වෙලාව දහයටත් ළගයි... එකොළයි හතලිස්පහට මෙහෙන් කොච්චිය යනවා කියලා ෆාදර් කිව්වා. කෝ දැන් ලෑස්ති වෙන්න.....‘

මම ආයෙත් අෂිව බදාගත්තා. ඇත්තමට හමුවීම් කොච්චර සුන්දරද? ඒ වගෙම ඒවා කොච්චර අසුන්දරද මතකයන් එකතු කරනවද? මොහොතක හිනාවක් එකතු කරලා ජීවත් වෙලා ඉන්නකල් හිතට වේදනාවක්, දුකක් දෙන්න හමුවීම් වලට පුළුවන්.

මම නැඟිටලා වොෂ් රූම් ගියා. අෂි ගාව කියලා අඬන්න බැරි වුණු සේරම මතක් කර කර මම ඇඬුවා. එදා පානදුර ඉන්ටව් එකට ආව හැටි. අෂි එක්ක මොප් විකුණන්න ගිය හැටි, මිනිස්සුන්ගෙන් බැනුම් අහපු හැටි, මිනිස්සුන්ට විහිලු කරපු හැටි..... ගොඩක් දේ....

‘මිලාන්....‘ අෂි වොෂ් රෑම් එකෙ දොරට තට්ටු කරන ගමන් මට කතා කරා...‘ පරක්කු වෙනවා ළමයෝ... ඇති ඇති දැන් වොෂ් දැම්මා. ඉතිරු ටික ගෙදර ගිහිං වැවෙන්ම හෝදගන්න...‘ අෂි හිනාවෙලා එළියෙ ඉදන් කිව්වා.
හිනාවෙනවා නෙමෙයි රත්තරං අෂි. මම අඩනවා. මේ හිත පුදුම විදිහට බොළඳවෙලා අෂි... ඔව් බොළඳ වෙලා....

මම ඇදුම් මාරුකරගෙන එලියට ආවා. එහෙම්ම කෑම කන්න ගියා. අෂි මගෙ බෑග් එක අස් කරලා දුන්නා. ෆාදර් මට අලුත් ටී ෂර්ට් එකක්, ඩෙනිම් කලිසමක් දුන්නා. ඒක ඇදගෙන මම කාමරෙන් එළියට ආවා. ලොකු ෆාදර් පල්ලිය ඇතුලේ... පොඩි ෆාදර්ගෙ හිතට දුකක් වගෙ. ඇතිවුණු හමුවීමක වෙන්වීමක් සනිටුහන් කරන්න වෙලාව ඇවිත්.

පොඩි ෆාදර්, අෂි, මම පල්ලිය ඇතුළට ගියා. ලොකු ෆාදර් අපි සේරටම දෙවියන් වහන්සේ දෙපා මුලදී ආශිර්වාද කරා. කටු ඔටුන්න දරාගෙන, ඇණ ගැසුණු දෑත් පා වලින් වැගිරෙන ලේ කොච්චර වේදනාවක් ගෙනත් දුන්නත් දෙවියන් වහන්සේ මම දිහා කාරුණිකව බලා ඉන්නවා මම දැක්කා. ලෝකයේ පාපයෙන් අපිව මුදවන්න, යථාර්තය කියාදෙන්න මිනිසාට, දෙවියන්ට පොදු ස්වභාදහමේ නීතියට යටත් වෙන්න සිද්ද වෙනවා. මම ලොකු ෆාදර්ට දණ ගහලා අයෙත් වැන්දා. ඔව් ඒ ගමන්ම පොඩි ෆාදර්ටත් වැන්දා. අෂිව බදාගෙන ආයෙත් ඇඩුවා. ෆාදර්ලට ඒක තේරෙන්න ඇති. අපි අතර තියෙන මේ මිත්රගත්වය, සහෝදරත්වය... වැරදි දෙයක් හිතුවද කියන්න මම දන්නෙ නැහැ. අෂි හිතුවේ එහෙමයි කියල එයාම කිව්වා. ඉතින් මම කොහොමද අෂි එහෙම කියද්දි වෙනත් විදිහකට හිතන්නෙ...

පොඩි ෆාදර්, අෂි එක්ක අපි කාර් එකෙ රාගම ස්ටේෂන් එක ගාවට ආවා. පොඩි ෆාදර් මට ටිකක් අරන් දුන්නා.

‘ආ මේක මඟ වියදමට...‘ මට නවපු දාහේ කොළ ටිකක් අතේ තියන ගමන් පොඩි ෆාදර් කිව්වා... ‘පරිස්සමෙන් යන්න ඕන...‘

‘මට මෙච්චර සල්ලි එපා ෆාදර්....‘ මම අයෙත් සල්ලි දෙන ගමන් කිව්වා.

‘පිස්සුද ළමයෝ... ගිහිං තාත්තට බෙහෙත් ගන්න. උවමනාවක් වුණොත් ලැජ්ජ නොවී ආයෙත් මට කතා කරන්න ඕන හරිද?... අනුරාධපුර ගියාට පස්සෙ අපිව අමතක කරන්නෙ එහෙම නැහැ ඔන්න.. ‘ පොඩි ෆාදර් පුංචි සරදමක් එක්ක එහෙම කිව්වා...

මම අෂිට අත දුන්නා. ආයෙත් බදා ගත්තා. අඩන්න ඕන. ඒත් මේ බලාගෙන ඉන්න මිනිස්සු මොනවා නොකියයිද ? අෂිත් ෆාදර්ත් අපහසුතාවට පත් කරන්න ඕන නැති නිසා මම දත්මිටි කාගෙන වේදනාව දරාගත්තා.

‘මාතර සිට යාපනය දක්වා දිවෙන රජරට රැජින දුම්රිය තව ස්වල්ප වේලවකින් දෙවන වේදිකාවට ළගා වේ... දුම්රිය නවත්වන්නේ....‘ ස්ටේෂන් එකෙ හිටිය සේරමගෙ අවධානය බිදගෙන ස්පීකර් වලින් ඒ හඩ ඇහුණා.

‘මිලාන්ට යන්න වෙලාව හරි....‘ පොඩි ෆාදර් කිව්වා.

‘මම ගිහින් එන්නං ෆාදර්... කවමදාකවත් මට ෆාදර්ලව අමතක වෙන්නෙ නැහැ. මම ආයෙත් එනවා ඔයාල සේරම බලන්න....‘ මම පස්සෙන් පස්සට යන ගමන් කිව්වා. අෂි මයෙත් එක්ක දොර ගාවට ආවා.

‘අෂි ඔයා මට හම්බෙච්ච හොදම යාලුවා. මගෙ ජීවිතෙ කවමදාකවත් ඔයා වගෙ යාලුවෙක් ආයෙත් ලැබෙන්නෙ නැහැ මට... පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න අෂි.. මම හැමවෙලෙම ඔයාට කතා කරන්නං... මාව අමතක කරන්න එපා අෂි.. හොදද?...‘

‘කවදාවත් නැහැ මිලාන්.. ගියපු ගමන් කොල් එකක් දෙන්න හරිද.? අෂි ගේට් එක ගාවදි කිව්වා.

‘හරි.... එහෙනං මම ගිහිං එන්නං...‘

‘හ්ම්...‘ අෂි හිනාවෙලා කිව්වා.

කොළඹ පැත්තේ ඉදලා නලාව සද්ද කරගෙන යකඩ යකා දෙවනි වේදිකාවට ආවා. අෂි දිහා බලාගෙන මම එහා පැත්තට මාරුවුණා. දෙවනි පන්තියේ වෙන් කරපු ආසනේක වාඩිවෙලා මම අෂිව හෙව්වා. කෝ... ඇවිස්සුණු කූඹි ගුලක් වගේ එහා මෙහා දුවන මිනිස්සු අතර අෂි හැංගිලා.. මම ගිහිං එන්නං අෂි... මම ඇස් දෙක පියාගත්තා....


-----------------------------------------

හතලිස් වන ප්‍රාර්ථනය

‘අම්මා..... අම්මා....‘ මම බස් එකෙන් බැහැපු ගමන් ගෙදරට දුවගෙන ගියා. ‘මම ආවා........... ‘ 

බෑග් එක සාලේ තිබුණු පුටුවට විසි කරලා මම කුස්සියටම දුවගෙන ගියා. අම්මා උයනවා. මාව දැකපු අම්මා එහෙම්ම නැගිට්ටා. 

‘මගේ දෙයියො.... ‘ අම්මා මාව බදාගත්තා. ‘ අනේ මේ සති ගාණට ඇදිලා ගිහිල්ලා...‘

ආයෙත් අම්මගෙ උණුසුම දැනෙද්දි මට මම ජීවත් වෙනව කියලා දැණුනා. නපුරුම නපුරු හීනයක් දැකලා අවදි වුණා වගෙ.

‘කෝ අම්මෙ අප්පච්චි...‘

‘අද වතුර මුරය පුතේ.....‘

‘අප්පච්චිට දැන් සනීපද අම්මේ...‘ මම කමිසෙ ගලවන ගමන් ඇහුවා.

‘අනේ අර දොස්තර මහත්තයා බුදු බව අත් වෙන්න දැන් හොදයි පුතේ... ඒත් තවත් මහන්සි වෙන්න එපා කිව්වට අහන්නෙ නැහැ. දැන් හේනට වඩා යන්නෙ කුඹුරට. තාත්තා හේන ගාව තියෙන මයිල ගහට නැගලා තනියම කියවනලු පුතේ. කීප දෙනෙක්ම මට කිව්වා. අනේ මට බයයි මේ මිනිහට මොනවා වෙනවද කියලා... උඹට තේ එකක් හදන්නද?‘

‘තේ එකක් බොමු අම්මේ... මම ළිදෙන් නාලා එන්නං...‘

කාමරේට ගිහිං මම ඇදුම් මාරු කර ගත්තා. මගෙ කාමරේ තිබුණා වගෙමයි. අතු පතු ගාලා විතරයි. අස් පස් කරන්න අම්මා දන්නෙ නැනෙ. තිවංකයා ඉන්නවද දන්නෙ නැහැ. නාලාම යනවා පොරව බලන්න...

ටැප් වතුරෙන් සති ගාණක් වේලුණු ඇඟ ළිදෙන් වැටෙන සීතල වතුර උරා ගත්තා. හිතේ හැටියට, දත්මිටි කාලා වෙව්ලනකල්ම මම නෑවා. අෂි, ෆාදර්, ලොකු ෆාදර්, සර්, ඩොක්ටර්, බාප්පා, සංජන.... කොළඹ චාරිකාවෙදි මට හම්බෙච්ච නොමැකෙන චරිත වෙයි. සමලිංගිකත්වය මට අමුතු දෙයක්ද? නැත්තං නොකීවට මගෙත් ඇගෙ තියෙන දෙයක්ද? සර්-අෂි සමලිංගිකව ආදරේ කරපු දෙන්නෙක්. ඩොක්ටර්- බාප්පාත් එහෙමයි. සේරටම වඩා පුදුමේ වුණු සංජන - සතිෂ් ආදරේ වෙනුවෙන් මිය ගියපු දෙන්නෙක්. කොහොමද මැරුණු සංජන වගේම අලුත් සංජනත් ඉපදුණේ. මම කොහොමද සතිෂ් වගෙ වුණේ. එකම නම... එකම රුව.. මෙහෙම වෙන්න පුළුවන්ද?

‘පුතේ....‘ මම ගැස්සුණා. ‘ මොකද උඹ සීතලේ බර කල්පනාවක....‘ අම්මා ළිඳ ගාවට ඇවිත් ඇහුවා.

‘මම මේ නැතුවට බලන්න ආවේ. මොකද වුණේ කියලා. දැන් තේ බිබි ඉන්න ඕන නැහැ. මම උයලා ඉවරයි. උණුවෙන්ම බත් කාපන් දැන්. කඩේ ඇරලා තියෙන්නෙ. ටිකක් බලාගනින් මම අප්පච්චිට බත් එක දීලා එන්නං...‘

‘අම්මා ගෙදර ඉන්න... මම වෙලට යන්නං...‘ මම ඇග පිහදාන ගමන් කිව්වා.

‘උඹට මහන්සි ඇතිනෙ මයෙ පුතේ...‘

‘නෑ අම්මෙ... අනික වෙලට ගියාම තියෙන මහන්සිය නිමෙනවා...‘

‘අප්පගෙ පුතානෙ...‘ කියන ගමන් අම්මා ආයෙත් ගෙදර ගියා.

අම්මාගෙ අතින් උයපු කෑම වෙලක් කන්න ආයෙත් මට වාසනාව ලැබුණා. උණු උණුවෙන් බෙදපු වැව් මාළු, මයිසූර් පරිප්පු, මඤ්ඤොක්කා කොළ මැල්ලුම් එක්ක පපඩම් ඉස්මුරුත්තාවට එනකල් බඩට යැව්වා. කොහොමද ෆාදර්ට කියන්නෙ මම ආවා කියල... දැන් නම් ෆොන් එක්ක ගන්නම වෙනවා වගෙ.

‘රනේ.................. රනේ............‘ ඔහ් තිවංකගෙ කට හඬ

මම අත පිහදාගෙන එළියට ආවා.

‘අම්මට සිරි ඇවිත් නේනනං... මේ උඹට කෝල් එකක්. කවුද ෆාදර් කෙනෙක් කියන්න කිව්වා. ‘ තිවංක මට ෆොන් එක දෙන ගමන් කිව්වා.

‘ෆාදර්...‘ මම ෆෝන් එකට ආන්සර් කරා...

‘මිලාන් ගෙදර ආවා නේද?‘ පොඩි ෆාදර් මයෙන් ඇහුවා.

‘ඔව් ෆාදර්.... දැන් ඇවිත් කෑවා විතරයි. මම ෆාදර්ට කොල් එකක් ගන්න හැදුවෙ දැන්...‘

‘අම්මා තාත්තා සනීපෙන් ඉන්නවා නේද?‘

‘ඔව් ෆාදර් ඒ දෙන්නත් හොදින්. එයාලට හරිම සතුටුයි මම ආයෙත් ගෙදර ආපු එකට...‘

‘මිලාන් ආයෙත් රාගම එන්න බලාපොරොත්තුවක් නැ වගෙ...‘

‘අනේ එහෙම නෑ ෆාදර්... මම කොහොමද ෆාදර්ව, අෂිව අමතක කරන්නෙ. මට කවමදාකවත් ඔයලාව අමතක වෙන්නෙ නැහැ. මම එනවා ඔයාලාව බලලා යන්න්...‘ මම හිනාවෙලා කිව්වා.

‘ඉන්න මම අෂිට ටිකක් දෙන්නං....‘

‘කොහොමද මිලාන්...‘ අෂි ඇහුවා.

මයෙ ඇග සීතල වෙලා ගියා. ඒ මිත්ර ත්වයේ කට හඩ. ඒ සහෝදරත්වයේ කට හඩ... අෂින්ත....

‘මම හොදින් අෂි. ඔයාත් හොදින් නේද?‘

‘ඔව් ඔව්... දැන්ද ආවේ ඔයා....‘

‘ඔව් අෂි. ආපු ගමන් නාලා කෑම කෑවා. දැන් වෙලට යන්න හදන්නෙ අප්පච්චිට කෑම එක දීලා එන්න....‘

‘අහ්... හරි හරි.. එහෙනං හොදින් වැඩ ටික කරගෙන සතුටින් ඉන්න ඕන හරිද? අපිත් එන්නම්කො වෙලාවට අනුරාධපුර ඇවිත් යන්න...‘

‘අනිවාර්යෙන්ම එන්න ඕන ඉතින්. මමත් එනවා ඔයලාව බලන්න. අනේ අෂි ඔයත් පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න ඕන හරිද?‘

‘හරි ළමයෝ හරි... එහෙනං දැන් තියන්නං ඔයාට බුදු සරණයි. ජේසු සමිදු පිහිටයි...‘ අෂි කිව්වා.

‘ඔයාටත් තෙරුවන් සරණයි අෂි... ජේ...සු... ස... මි... ඳු... පිහිටයි...‘ මම කටට නුහුරු ඒ වචනෙ ගිලින ගමන් කිව්වා.

‘කවුද බං අෂි...?‘ තිවංක ඇහුවා. ‘උඹේ කෑල්ලද?‘

‘පිස්සුද බං....‘ මම හිනාවෙන ගමන් කිව්වා. ‘අෂි කියන්නෙ කොල්ලෙක්... අෂින්ත උගේ නම. මාත් එක්ක වැඩ කරපු යාලුවා.‘

‘පල්ලියකද උඹ වැඩ කරේ...‘ මේකට ඕං නැති මගුලක් නැනේ..

‘ඔව් ඔව්...‘ මම කිව්වා.

‘ඉතින් ඉතින් කොහොමද බං කොළඹ ජීවිතේ....‘

‘අපෝ.... කතා කරන්න එපා බං. මේ ගම හොදයි අපිට. එහෙ ගිහින් කකුල් පටලන් වැටෙනවට වඩා...‘

‘මම හිතුවෙ උඹ සංතෝසෙන් ඉන්නව කියලනෙ....‘

‘එහෙම ඉන්න තමයි බං ගියෙ... ඒ වුණාට...‘

‘ඇයි බං මුකුත් අවුලක් වුණාද....?‘

‘ අපේ නැහැ... මට කොළඹ මැච් වෙන්නෙ නැහැ තිවංක...‘

‘මෙන්න පුතේ බත් එක...‘ අම්මා බෑග් එකක් ගෙනත් දෙන ගමන් මට කිව්වා.

‘තිවා.. මම අප්පච්චිට කෑම එක දීලා එන්නං... හවසට සෙට් වෙමු හරිද?‘ මම එහෙම කියද්දි අම්මට හිනා.

‘තිවංකගෙ ෆෝන් එක නැත්තං උඹට කතා කරලත් ඉවරයි....‘

‘ඔව් මොනද නැන්දේ... දැන් රනෙ ගෙදර ආවනෙ...‘ තිවංක හිනාවෙලා කිව්වා.

මමත් ඒ දෙන්නට හිනාවකින්ම සංග්රනහ කරගෙන වෙලට යන්න බයිසිකලෙ ගත්තා.

පුරුදු පාරේ, පුරුදු විදිහට නුපුරුදු අත්දෑකීම් එකතු කරගෙන මම වෙලට යනවා.



No comments:

Post a Comment

ඔබට බොහොමත් ස්තූතියි...